කුම්බලා මාළු කෑවානං විඳවපං බළලෝ!

කුම්බලා මාළු කෑවානං විඳවපං බළලෝ!

මේ දිනවල රට දෙවනත් කරන කතාබතාවලට අර්ථකථන සැපයීමට සිංහල ජන කියමන් මදි වන තත්වයක් උද්ගත වනු පෙනේ. ඉතිරි වී ඇති කියමනක් උපුටා දක්වන්නේ කාඩ් කුට්ටම් සෙල්ලමේදී කපෝතිය ගැහීමේ හයියක් ඒ කියමනට ඇති බැවිනි.

හිට්ලර් කෙනෙක් වන්නැයි අස්ගිරි අනුනායක දුන් උපදේශය පිළිබඳ වැරදි අර්ථකථනයක් ලැබී ඇතැයි ප්‍රකාශක භික්ෂුවද ඇතුළු පාළු ගෙයි වළං බිඳින්නන් කිහිප දෙනක් අදහස් දක්වමින් සිටිති. ඇතාගේ වලිගය අතගා බලා ඇතා කොස්සක් වැනි යැයි කීමට මෙය සමාන වන බව ඝෝෂක භික්ෂුව ප්‍රතිඋත්තර බැඳ ඇත. මෙය විමසා බලමු.

මෙය ඇතා නොව අලියා යනුවෙන් නිවැරදි විය යුතුය. අලියා සහ අන්ධයෝ නමින් සුප්‍රකට ප්‍රවාදය ගොඩනැගුණේ දීඝ නිකායේ පච්චන්ද වග්ගයෙහි ඇතුළත් සූත්‍ර දේශනාවක් ඇසුරෙනි. රජ කෙනෙක් නගරයෙහි සියලු අන්‍ධයන් කැඳවයි. අලියා අතගා බලා ස්වරූපය කියන්නැයි අණ කරයි. අන්ධයෝ තම අතට හසු වූ ශරීරාංගය අනුව අලියාගේ ස්වරූපය කියති. කිසිවෙක් අලියාගේ සම්පූර්ණ සිරුර නොදකිති. මේ උපමා කතාව බුදුන් ගෙනහැර දක්වා ඇත්තේ විවිධ ලබ්ධිකයන් අතර තම තමන්ගේ දෘෂ්ටිවාද සම්බන්ධයෙන් ඇති අරගලය සංසිඳවීමටය. එහෙයින් මේ උදාහරණය ගන්නා අයකු වේ නම් පළමුව තමන් ඒ ධර්මයෙහි පිහිටා කටයුතු කළ යුතුය.

ලංකාවෙහි කුල භේදය නමැති අසද්දෘෂ්ටිය පවත්වාගෙන යන ප්‍රමුඛ සංස්ථාව භික්ෂු සංස්ථාව බව භික්ෂුහුම දනිති.

"දහම නොදකින්නා මා නොදකී" යැයි බුදුන් වහන්සේ කීහ. බුදු දහම ජාති භේද, කුල භේද පිටු දකී. ඒ අනුව අලියාගේ මයිල් ගහක් තරම අල්ලාගෙන දහම නොදැක ඇතාගේ උපමාව ගෙන තමන්ගේ මහිමයම පෙන්වා ඇත්තේ හිට්ලර්ලෝලී භික්ෂුව විසින්ම බව පෙනේ.

ගෝඨාභය මහතා උම්බලකඩ කෑල්ලක්වත් නොකන ශීලාචාර මහත්මයකු යැයි ඒකාබද්ධයේ තවත් ප්‍රබලයකු විසින් ප්‍රකාශ කර තිබේ. මේ ප්‍රකාශකයාට මිනීමැරුම් චෝදනා නැත. එහෙත් ගෝඨාට, ඝාතන හා අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් චෝදනා ඇත. අධිකරණ තීන්දු ප්‍රමාද වුවද ඇතැම් චෝදනා සාධක සහිතව සමාජය හමුවේ නිරාවරණය වී අවසානය.

ඉතිහාසයෙහි ලියැවී ඇති පරිදි ජනනාශක ජනනායක ඇඩොල්ෆ් හිට්ලර්ද නිර්මාංශ ආහාරවලින් ජීවත් වූවෙකි. එහෙත් ජනසංහාරයට එය අදාළ නොවීය. සත්‍ය වශයෙන්ම පුද්ගලයකුගේ ආහාරයෙහි ස්වභාවය සහ සමාජ චින්තනය අතර මහ ලොකු සම්බන්ධයක් නොමැත. මස්, මාළු නොකන, ඉඳහිට උම්බලකඩ මිශ්‍ර කට්ට සම්බෝල සමග කිරිබත් කන, සුදෝ සුදු ජාතික ඇඳුම අඳින සමහර දේශපාලකයන් මිනිස් ඝාතන සාධාරණීකරණය කරන අයුරු මෙරට ජනතාවට හොඳින් පුරුදුය.

රාජ්‍ය දේපළ මංකොල්ලකෑම සහ විදෙස් ගමන් බලපත්‍රයෙන් පවා වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊනියා දේශප්‍රෙමියකුද අස්ගිරි අනුනාහිමිගේ ප්‍රකාශය විවේචනය කළ පාර්ශ්වවලට තර්ජනාංගුලිය එල්ල කරමින් සිටියි. අස්ගිරි ප්‍රකාශය නිමිති කරගනිමින් පන්සල් දෙවනත් කරන හිටපු ජනපතිවරයා භික්ෂූන් පනස් ගණනක් අත්අඩංගුවේ පසුවීම සම්බන්ධයෙන් රජයට චෝදනා කරයි. අධිකරණ වාර්තා අනුව පෙනීයන්නේ මෙයින් වැඩි හරියක් ළමා අපයෝජකයන් බවය. මුන්නැහේලා කියා සිටින්නේ තමුන්ට බලය තිබූ කාලයේ නම් දුෂිත භික්ෂූන්ට අධිකරණය හරස් නොවූ බවද? දී කිරට බළල්ලුත් සාක්කි යැයි කියන්නේ මෙන්න මේ කතාවලටය.

ඒකාබද්ධයේ තවත් ප්‍රබලයකු පවසා ඇත්තේ මිලිටරි ජුන්ටාවකින් රට පාලනය කරනවා නම් පක්ෂයෙන් ඉවත් වී ඊට විරුද්ධව ජීවිත පූජාවෙන් කටයුතු කරන බවය. හිට්ලර් ලෝලී ප්‍රකාශය පාරාවළල්ලක් වී ඇති ආකාරය ‘මඤ්ඤං’ පන්නයේ පිළිතුරුවලින් මෙන්ම ඇතුළෙන් එන විරෝධයෙන්ද පෙනේ. පිටතත් අවුල්ව අැතුළතත් අවුල්ව රටට හරියන අලුත් දර්ශනයක් ගෙන ඒමේ හැකියාවක් ඔවුන්ට තිබේද?

මාතෘකා