හිට්ලර් ආදර්ශය හා වහල් -චින්තනය

හිට්ලර් ආදර්ශය හා වහල් -චින්තනය

හිට්ලර් වගේ වෙලා හරි රට හදන්නැයි හිමිනමක් දානමය පින්කමකදී දුන් උපදේශය රටක් කලඹන මාතෘකාවක් බවට පත් විය. ජනපති, අගමැති ඇතුළු ප්‍රධාන රටවැසියන්ට අමතරව විවිධ සමාජ තීරු මේ උපදේශය හෙළා දුටහ. වඩාත්ම හාස්‍යජනක කරුණ වන්නේ උපදෙස් දුන් හිමිනමගේ ප්‍රකාශයට වැඩිතැනක් දීම මුලින්ම කළේ පරාජිත රෙජීමයට හිතවාදී රූපවාහිනී නාළිකාම වීමය. ඔවුන් බලාපොරොත්තු වූයේ බලය ඩැහැගැනීමේ යටිකූට්ටු වැඩවල යෙදී සිටින දේශපාලන කල්ලියට ගැම්මක් දීමය. ප්‍රතිඵලය වූයේ එහි අනෙක් පැත්තය. දැන් ඒ මාධ්‍ය, ගලේ පැහැරූ බළලුන් ගාණට වැටී සිටී.

වඩාත්ම හාස්‍යජනක කරුණ හිට්ලර් වන්නට පේවෙමින් සිටින පුද්ගලයා නියෝජනය කරන කල්ලියේ මන්ත්‍රීවරයකු වන කුමාර වෙල්ගම පවා අදාල ප්‍රකාශයට එරෙහිව කතා කිරීමය. අන්තිමේ බලන විට ඒ වෙනුවෙන් පෙනී සිටිනුයේ දේශපාලන මංමුළාවැලක පැටලී උසාවි ගාණේද රස්තියාදු වෙමින් සිටින "දේශප්‍රේමියකු" වන වංසෙ කබල්ගාන්නා පමණි.

අන්තිමේදී හිමිනමද ශ්‍රී මුඛය විවර කර ඇත. ඒ ප්‍රකාශය ජාතිවාදී පුවත්පතක පළ වී තිබිණ. එය දකින විට ජනකියමනක් සිහිපත් වේ. "ඇටි කෙහෙල් කෑ උඩුගුව වගේ" යනුය.

හිට්ලර් මතක් කිරීමේදී "ඒ ක්‍රමය නම් මරු" යැයි සිතන දෙපිරිසක් සිටිති. පළමු පිරිස බහුජාතිය වන තමන්ට හිමි අයිතිවාසිකම් රටේ සුළුතර පනතාවට හිමි නොවිය යුතු යැයි සිතන පිරිසය. බුද්ධාගමට ව්‍යවස්ථානුකුලවම ප්‍රමුඛත්වය දිය යුතු යැයිද අනෙකුත් ආගම් දෙවැනි පෙළ ආගම් විය යුතු යැයිද ඔවුහු සිතති. මෙය ඓතිහාසික වැරැද්දකි. නිදහස ලැබෙන්නට පෙර ලියවුණු සෝල්බරි ව්‍යස්වථාවෙහි මෙහෙම ගෝතකරුමයක් නොවීය. කොටින්ම ආගම ඇදහීම පුද්ගලික කටයුත්තක් වන නිසා ලොව ශිෂ්ට සම්පන්න රටවල් ව්‍යවස්ථාවට ආගම ඇතුළු කරන්නේ නැත.

ආගම හා භාෂාව මුල් කරගනිමින් ශුද්ධ වු මහජාතිය සහ අශුද්ධ වූ සුළුජාතීන් පිළිබඳ විභේදනය වර්ග සංහාරයට මුල පුරයි. හිට්ලර් ශුද්ධ වූ ජර්මානු සමාජයක් වෙනුවෙන් යුදෙව්වන් මිහිපිටි තුරන් කිරීමේ ජනනාශක ප්‍රතිපත්තිය අනුගමනය කළේය. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුග්‍රහය ප්‍රසිද්ධියේ ලබාගත් බොදු බළ සේනා ජුන්ටා කණ්ඩායම අලුත්ගමදී මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව එල්ල කළ ප්‍රහාරය හිට්ලර් පන්නයේ වැඩකි. 2009 යුද ජයග්‍රහණයෙන් පසුව ආගමික මධ්‍යස්ථාන සිය ගණනක් ප්‍රහාරයට ලක් වූ බව සිහිපත් කළ යුතුය.

දෙවැනි කරුණ ආර්ථික අගාධයකට වැටී තිබූ ජර්මනිය කෘෂිකාර‍මික, කාර්මික හා යුදමය අතින් දියුණු කිරීම සඳහා හිට්ලර් භාවිත කළ අධිකාරිමය බලයයි. මෙහිදී ඔහු දක්ෂයෙක් විය.

හිමිනමගේ ප්‍රකාශය නිරාකුල එකක් නොවූ නිසා සමස්ත හිට්ලර්ම එයින් පෙනේ.

හිට්ලර්ගේ ක්‍රමයට ප්‍රසාදජනක ප්‍රතිචාරද ලැබේ. ඊට බලපෑ සමාජ දේශපාලන පසුබිමක් තිබේ. යටත් විජිත ග්‍රහණයෙන් මිදී ස්වදේශිකයන් අතට පාලන බලය ලැබුණද වසර 70 කට පසුද හුන් තැනින් මඳක් හෝ ඉදිරියට ඒමට රටට නොහැකි විය. ඊට බලපෑ එක් මූලික ලක්ෂණයක් වනුයේ වැඩවසම් චින්තනය මුළුමනින්ම අහෝසි නොවීමය. දේශපාලනයේදී එය ජාතික ඇඳුම හා ටයි කෝට් ඇඳ ඉදිරියට පැමිණියේය. මහජන විඥානය තවමත් රදළයා සහ ප්‍රවේණිදාසයාගේ සමාජ පුරුද්ද අනුව ඉදිරියට යයි. බලය ඇත්තා නියෝග පනවන විට කරබාගෙන එය ක්‍රියාත්මක කළ යුතුය. ස්වාධීනව සිතන මතන, ඒ අනුව කටයුතු කරන මිනිසකු වෙනුවට කාගේ හෝ නියමයකට අනුව කටයුතු කිරීමේ චින්තනයක් පවතී. අධිකාරී බලයට ඔවුහු කැමැත්තක් දක්වති. එසේ සිතන අයට හිට්ලර් පන්නයේ මිනිසුන්ද හිට්ලර් මෙන් පෙනෙන හාල් කෑලිද වීරයන් ලෙස පෙනීම පුදුමයක් නොවේ.

රට හැදිය හැක්කේ ඒකාධිපති පාලනයකින් පමණකැයි කියමින් ඊට උඩගෙඩි දෙන ශාස්ත්‍රාලීය උගත්තුද සිටිති. යහපාලනයෙන් අපේක්ෂා කළ ඇතැම් සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම නිසා ඇති වූ කලකිරීම කාලකන්නි සතුටක් බවට පත්කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි. මෙරට ජනතාව තවත් මිනී කන්දක් දැකීමේ ශෝකාන්තයට තල්ලු කළ යුතු නැත. එනිසා කළ යුතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, සහජීවනය මුල් කරගත් ජනවාරි 8 ජයග්‍ර‍හණය අර්ථවත් කරගැනීමේ මහජන කතිකාවත පුළුල් කිරීමය.

මාතෘකා