මිනීමරා රට හැදීමේ අමුතු බණ

මිනීමරා රට හැදීමේ අමුතු බණ

 

“ගෝඨාභය මැතිඳුනි!

හිට්ලර් කෙනෙක් වෙලා හරි

මිලිටරි පාලනය ඇති කරලා හරි

මේ රට හදන්න”

මේ ප්‍රකාශය කරන ලද්දේ එසේ මෙසේ කෙනෙක් නොව අස්ගිරි මහා සංඝ සභාවේ අනුනායක යතිවරකු විසිනි. හිටපු ආරක්ෂක ලේකම්ගේ දානය වැළඳූ ශ්‍රී මුඛයෙන්, මෙකී අනගි අනුශාසනාව කරන ලදි. මෙහිදී මේ යතිවරයා බුදුන් සිහිපත් කරනු වෙනුවට හිට්ලර් සිහිපත් කර තිබීම විශේෂත්වයකි.

හිට්ලර් යනු ශුද්ධ වූ ජර්මානු සමාජයක වියරු සිහිනයෙන් අන්ධව යුදෙව් ජාතිකයන් 80 ලක්ෂයක් එලොව යැවූ කෲර මිනිසකු බව ළමයින්ද දනිති. ශුද්ධ වූ ජර්මන් ජාතිය පරිදිම ශුද්ධ වූ සිංහල බෞද්ධ ජනවර්ගයක සිහිනය ප්‍රධාන පෙළේ යතිවරුන්ට ඇති බව අනුනායක හිමිනමගේ ප්‍රකාශයෙන් පෙනේ. කාරණය පැහැදිලිය. මල්වතු සහ අනෙකුත් පාර්ශ්ව සමග එකට වාඩිවෙන්න බැරි බව කියමින් කුලමානයෙන් ඉදිමී පත්තිරිපුප්ව මගහැරියේ අස්ගිරි පාර්ශ්වයයි. තම අභිමතාර්ථවලට ගැළපුණු ‘මහ රජා’ රැක ගැනීමට බැරි වූ තැන දැන් මුන්වහන්සේලාගේ සිහිනය වී ඇත්තේ හිට්ලර් කෙනෙකි.

හිට්ලර් 80 ලක්ෂයක් එලොව යවා, තම පියඹ හා දරුවන්ද මරාදමා, හිසට වෙඩි තියාගෙන මිය ගියේය.

හිට්ලර් දැන් නොමැති නිසා ඒ ගති ගුණවලට නෑ කම් කියන හාල් කෑල්ලක් හෝ සොයා ගැනීම කුලවාදී, වර්ගවාදී, වැඩවම්සවාදී, ගෝත්‍රවාදී ආගමික කල්ලිවල අරමුණ වී ඇති බව මෙම

‘බුද්ධ පුත්‍රයා’ගේ ප්‍රකාශයෙන් මැනවින්

පැහැදිලි වේ.

හිටපු ආරක්ෂක ලේකම් හිට්ලර් කෙනෙකු බවට පත් කර ගැනීමේ හැකියාව මෙබඳු බුද්ධ පුත්‍රයන්ට වැටහී ඇත්තේ ඒ අයගේ පාලන සමයේ සිදුවූ හොඳ හොඳ සෙල්ලම් දැකීමෙනි. ඇත්තටම ඒ දිනවල මානසික රෝගීන් හැර අන් සියලු දෙනා ජීවත් වූයේ මර බියෙනි. අස්ගිරි පාර්ශ්වයට ඒ බව නොදැනීම තේරුම්ගත හැකිය.

කීර්ති ශ්‍රී රාජසිංහ පාලන සමයෙහි ජීවත්වූ වැලිවිට අසරණ සරණ සරණංකර හිමියන්ගේ මූලිකත්වයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත සකස් කෙරුණේ සඟ සසුන අද පරිදිම පිරිහී තිබූ යුගයකය.

උන්වහසේ මෙසේ ලියූහ.

 

‘කෙසර සම් පොරවන

මහලු වඳුරන් විලසින

රහත් දද ඇඳගෙන

චාටු තපසින් සසුන් කෙලෙසන’

සංඝරාජ හිමියන්ගේ අගය එදාට වඩා අද දැනේ. රටේ අවාසනාවට එබඳු යතිවරයකුගේ ලකුණක්වත් නැත. හිටියා නම් එන්.ජී.ඕ. ලේබලය වදිනවා සිකුරුය. බුදුන් හිටියා නම් ඒත් ඒ ටිකමය.

මේ විනාශය කලින්ම දැනුණු බුදුන් වහන්සේ, පිරිනිවන් පෑමට පෙර මහාපරිනිබ්බාන සූත්‍රයේදී තමන් එතෙක් කළ දෙසුම් කැටිකර දැක්වූහ.

සප්ත අපරිහානීය ධර්ම එයින් ප්‍රධානය. සමගියෙන් රැස්වන, සමගිව කටයුතුවල යෙදෙන, පැනවූ නීති නොකඩන වජ්ජීන් සප්ත අපරිහානීය ධර්මවලින් එකක් පිළිපදින විට ජනසෙත සැලසේ නම් හතම රකින විට මොන තරම් යහපතක් වේදැයි බුදුන්ගෙන් වස්සාකාර බමුණා ඉගෙන ගත්තේය.

අස්ගිරි බණ පිළිපදින්නට ගියහොත් හිටපු ආරක්ෂක ලේකම්ට සිදුවන්නේ හත්පොළේ ගාගෙන හිට්ලර් කෙනෙකු වන්නට කලින්ම දිවි නසාගන්නටය. හතර විළි ලැජ්ජාව නිසා පාංශුකුල දෙන්නට නම් උන් වහන්සේලා නොවඩිනු සිකුරුය.

භික්ෂුව සැතකින් පහර ලද්දකු මෙන්, හිස ගිනිගත්තකු මෙන් අසද්දෘෂ්ටින් බැහැර කරනු පිණිස සිහියෙන් විසිය යුතු යැයි වන්දන සූත්‍රයෙහි දැක්වේ. යතිවර දෘෂ්ටියෙන් රට පාලනය කිරීම මහත් විපත් ගෙන දෙන්නකැයි මාර්ටින් වික්‍රමසිංහ ලිවීය.

වල්පොළ රාහුල හිමියන්ටවත් ගොඩගන්නට

බැරි වූ, වික්‍රමසිංහයන්ටවත් සිහි කැඳවන්නට අසීරු වූ සසුනට ගෝඨාගේම පිහිටයි.

ඒ වගත්, මෙසේමය!

මාතෘකා