අවියත් මගට එරෙහිව

අවියත් මගට එරෙහිව

"කියන තරං යකා කළු නෑ" යයි ජනකියමනක් තිබේ. එය ඇතැම් යකුන් සම්බන්ධයෙනි. යක්කුද විවිධ වෙත්. මිනී කන යක්කු වඩාත් භයානකය. යක්කුන්ටත් දරු සෙනෙහස ඇති බව වෙනම කතාවකි. එහෙත් රාජ්‍ය පාලනයේදී මිනීකෑවත් නැතත් යක්කු මෙන් හැසිරීම භයානකය. ඊට හේතුව එවිට රටවැසියන්ද ගොදුරු බවට පත් වීමය.

තමන්ගේ මතයට වෙනස් මත දරන්නා ඝාතනය කිරීම බල උන්මාදයේ ලක්ෂණයකි. ඒ උන්මාදයේ ප්‍රතිඵල ලෙස විශිෂ්ට රගර් ක්‍රීඩකයකු වන තාජුඩීන් රටට අහිමි විය. බය නැති මාධ්‍යවේදියකු වූ ලසන්ත දැයට අහිමි විය. අඬුබඬු කඩාගත් ලැයිස‍තුව දිගය. මේ ඇතැම් චෝදනාවල චූදිතයා මුදල් බලයෙන් හා කළු කෝට් බලයේ අනුහසින් තමා අත්අඩංගුවට ගැනීමෙන් වැළකීමේ නියෝගය අධිකරණයෙන් ලබාගෙන එය දීර්ඝ වීමේ සතුට බුක්ති විඳිමින් රටට වියත් මග කියා දෙමින් සිටී. තමන් නිර්දෝෂී නම් එසේ අධිකරණ නියෝග ලබා නොගෙන නඩු කෙටි කර ගැනීමේ හැකියාව ඕනෑවටත් වඩා ඇත.

කල් මැරීමේ තේරුම කුමක්ද?

කල් මැරීමේ තේරුම තව වසර එක හමාරකින් එලඹෙන ජනාධිපතිවරණය දක්වා බෙල්ල බේරා ගැනීමය. මොන දහං ගැටවලින් හෝ බල හුවමාරුවක් කරගෙන අපරාධ යට ගැසීමය.

වියත් මග යනු ඒ සඳහා මුට්ටිය දමා බැලීමකි.

වියත් මගට ඒකාබද්ධයෙන්ම කාල බෝම්බයක් එල්ල වී තිබේ. ප්‍රහාරකයා වාසුදේව නානායක්කාරය. එය එසේ මෙසේ ප්‍රහාරයක් නොවන්නේ වාසුදේව ඒකාබද්ධ විපක්ෂයේ බරපතළ නායකයකු වන හෙයිනි. ඔහුගේ අදහස වන්නේ වියත් මග සමග ඒකාබද්ධයේ සම්බන්ධයක් නැති බවය. එය ඒකාබද්ධයේ වැඩක් නම් එම වැඩපිළිවෙල ඒකාබද්ධයට පෙන්වා අවසර ගත යුතු බවය. ඔහු මෙසේද පැවසීය.

"ආණ්ඩු බලය ලබා ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට ස්ථිර ප්‍රතිපත්තිමය වැඩසටහනක් නැතිකමින් වියත් මග වැනි දේවල් සමාජගත වෙනවා. වියත් මග ඉදිරිපත් කළ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය ඇමරිකන් ගැති ප්‍රතිපත්තියක් මත සකස්වූවක්. නොබැඳි ප්‍රතිපත්තිය මත සකස් වූ ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් අපට අවශ්‍යයි."

වාසුදේව සඳහන් කරන ඇමරිකන් ගැති ප්‍රතිපත්තිය සහ නොබැඳි ප්‍රතිපත්තිය විවාදාපන්න මාතෘකාවක් විය හැකි වුවත් මෙහිදී වැදගත් වන්නේ එය නොවේ. යහපාලනයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමට පේවෙන ඒකාබද්ධයේ නායකයන් අතර පවා පොදු වැඩපිළිවෙලක් නැති බවය. වහෙන් ඔරෝ භාෂාවෙන් නොකියා කියන්නේ දූෂිතයන්ට හා මිනීමරුවන්ට එරෙහිව පියවර ගැනීම නැවැත්විය යුතු බවය. රට එක්සත් කරන නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවය. රාජ්‍ය දේපළ කොල්ලකෑමේ සම්ප්‍රදාය නතර නොකළ යුතු බවය.

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් බලගතු චරිතවලට එලඹෙමින් තිබෙන්නේ අඳුරු දසාවකි. ඉබිගමනින් වුවද විභාග වෙමින් පවතින ඇතැම් නඩුවලට අදාළ චූදිතයන් අත්අඩංගුවට ගැනීමට නියමිතය. වරදකරුවාට බේගල් දෙසා සමාජය මුළා කළ හැකිය. එහෙත් හෘද සාක්ෂියෙන් ගැලවිය නොහැකිය. එනිසා ඊනියා දේශප්‍රේමය කෙළින් කිරීම එක් අතකින් කරගෙන යති. රට බෙදීමේ අනතුර, රණවිරු දඩයම, භික්ෂුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ භීතිකාව අවුළුවමින් සිටිති. මේ ලැයිස්තුවට අලුතින්ම එක්ව ඇත්තේ බදු පැනවීමයි. හරියටම බැලුවොත් බදු දැලෙන් රිංගා රජයට විශාල ආර්ථික පාඩුවක් සිදු කරන ධනපති සමාජ තීරුද අවස්ථාවාදී ලෙස ඊනියා දේශප්‍රේමී රැල්ලට ජවය දීමට උත්සාහ දරති. ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති වියත් මග සමුළුවේදී මෙබඳු මුහුණුද කරළියට පැමිණියේය.

එලඹුණු ප්‍රජාතාන්ත්‍රීය අවකාශය නිරෝගී සමාජ පැවැත්මක දිසාවට තල්ලු වීම කළු ආර්ථිකයේ ඒජන්තවරුන්ට මරු පහරකි. ඒ නිසා අලුත් දේශපාලන පෙරළියකට කැසකවන්නන්ගේ යටි අරමුණු පිළිබඳ අවදියෙන් පසුවීම රටේ යහපතට හේතු වනු ඇත.

මාතෘකා