පරමාදර්ශ අවශ්‍යයි

පරමාදර්ශ අවශ්‍යයි

රටක අනාගත ආයෝජනය දරුවෝය. දැනුමෙන් ප්‍රඥාවෙන් සහ මනුෂ්‍යත්වයෙන් පිරිපුන් රටවැසියකු නිර්මාණය කිරීම එහිදී මුහුණ දෙන අභියෝගයයි. මෑතකදී පින්ලන්ත අධ්‍යාපන විශේෂඥයන් සහ අධ්‍යාපන ඇමතිවරයා අතර පැවති වැදගත් සාකඡාවක් අවසන් වූයේ නවීන අධ්‍යාපනයක් සකස් කිරීම සඳහා පින්ලන්ත රජයේ සහයෝගය ලංකාවට ලබාදෙන එකඟත්වයෙනි.

රටට ආවේණික හර පද්ධතීන් පිළිබඳ දරුවන්ට හැඟීමක් ඇති කරන අතරතුර නව ලෝක දැනුමෙන් දරුවන් සන්නද්ධ කිරීම රට ඉදිරියට ගැනීම සඳහා අවශ්‍ය වෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ එම අරමුණු ජය ගැනීම සඳහාය.‍

පසුගියදා යාපනයෙහි සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා සදාචාරවත් විනයානුකූල දරුපරපුරක් බිහිකරගැනීමේ අභිලාෂය පැහැදිලි කළේය. ඒ සඳහා ජාතික මට්ටමින් වැඩපිළිවෙළක් දියත් වනු පෙනෙයි.

දරුවන්ට උසස් අරමුණු කරා යෑම සඳහා පරමාදර්ශ වැදගත් වෙයි. ලොව ප්‍රකට විද්‍යාඥයන් ඇතුළු විශිෂ්ටයන් බිහි වී ඇත්තේ පුරෝගාමී විශිෂ්ටයන්ගෙන් ආදර්ශ ලබාගනිමිනි.

"ඔබ කවුරු වගේ වෙන්නද කැමති?"

ඕනෑම රටක වැඩිහිටියෙකු දරුවකුගෙන් ජීවිතයෙහි එක් වරක් හෝ එම පැනය අසා තිබෙනු නිසැකය. එවිට දරුවා තම සිත්ගත් විශිෂ්ටයා ගැන පවසයි. දරුවාට ඉදිරි මග සකසා ගැනීම සඳහා එම පරමාර්ශ ආශිර්වාදයක් වෙයි.

මීට ටික කලකට පෙර ක්‍රීඩාලෝලී දරුවකුගෙන් උක්ත පැනය ඇසූ කල සනත් ජයසූරිය හෝ සුසන්තිකා ජයසිංහගේ නම පිළිතුරු ලෙස ලැබුණු අවස්ථා තිබිණ. වත්මනෙහි ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි එබඳු පරමාදර්ශ තිබේද? වෛද්‍ය විද්‍යාව, අධ්‍යාපනවේදය, දර්ශනය, මනෝවිද්‍යාව, සාහිත්‍ය, නාට්‍ය කලාව, ඉංජිනේරු ශිල්පය යනාදී සෑම ක්ෂේත්‍රයකම පරමාදර්ශ බිඳ වැටීමේ ගැටලුවක් පවතී.

අනෙක් අතට එබඳු ක්ෂේත්‍රවල ඉඳහිට හෝ හමුවන විශිෂ්ටයන් පිළිබඳ තොරතුරු දරුවන් අතට පත් වන්නේද නැත. එහි වරද ඇත්තේ මාධ්‍ය, අධ්‍යාපන බලධාරීන් සහ සාහිත්‍යකරුවන් අතය. ඉදිරිගාමී පරපුරක් ඇති වන්නේ විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයන්ගේ ක්‍රියාකාරකම් මතය.

මහා යුද්ධයෙන් පසුව මැක්සිම් ගෝර්කි ඉංග්‍රීසි ලේඛක එස්. ජී. වේල්ස්ට ලිපියක් යවමින් කියා සිටියේ තම රටේ දරුවන්ගේ හදවත්වලින් යුද්ධයේ මළකඩ ඉවත් කර විශිෂ්ට මිනිසුන් බවට පත් කිරීම සඳහා විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයන්ගේ චරිත කතා එවන ලෙසය. එම කතා රුසියන් බසින් දරුවන් උදෙසා පළ කිරීම තම අභිලාෂය බව ගෝර්කි ලිවීය.

මෙලෙස ලොව හැම රටකින්ම විශිෂ්ටාදර්ශ තම රටේ දරුවන්ට ලබාදෙන බව ගෝර්කි වේල්ස්ට කීය.

ගෝර්කි ඒ අනුව වැඩ කළේය. රුසියාවෙහි විශිෂ්ට මිනිසුන් බිහි කිරීම සඳහා විවිධ පැති ඔස්සේ පුළුල් වැඩපිළිවෙලක් දියත් විය.

ඒ අනුව බැලූ විට අපේ රටේ සාහිත්‍යකරුවන්ට නොපටු වගකීමක් පවතී. මාධ්‍යයටද එසේමය. බොරු වීරයන් හා තක්කඩියන් වෙනුවට විශිෂ්ටයන් පිළිබඳ අදහස දරුවන්ට දිය යුතුය.

එය දේශපාලකයන්ට තනිව කළ නොහැකි බරපතළ සමාජ වගකීමකි.

ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් පිළිබඳ දන්නා ගුරුවරයකු සොයා ගැනීම කළුනික සෙවීමටත් වඩා දුෂ්කරය. වැලිවිට සරණංකර සහ වල්පොළ රාහුල යනාදී විශිෂ්ට යතිවරුන් පිළිබඳ දන්නා භික්ෂූන් හිඟ බව පෙනන්නේ සිවුරුලාගත් දාමරිකයකු හිරෙන් නිදහස් කරන්නැයි රේල් පාරේ නිදාගන්නා ගණින්නාන්සේලා දකින විටය.

අපේ රටේ මොළ කළඳක් ඇති මාධ්‍යවේදීන් හිඟ බව පෙනෙන්නේ රූපවාහිනී නාළිකාවල පේන කියන්නන් මනෝ විද්‍යාඥයන් හැටියට බෞතීස්ම කරනු දකින විටය.

දරුවන්ට පූවාදර්ශ ලැබෙන්නේ මෙබඳු බහුබූතවලිනි. අනාගත පරපුර බේරාගැනීමට නම් මේ සමස්තයෙහිම වෙනසක් සිදු විය යුතුය.

මාතෘකා