දුම්රියට ජීවිතය දීම

දුම්රියට ජීවිතය දීම

ස්වාභාවික ආපදාවලින් වසරක් පාසා අහිමි වන මිනිස් ජීවිත පිළිබඳව නිතර අසන්නට ලැබේ. ඒ පිළිබඳ කතිකාවත් ගොඩනැගේ. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියයන මිනිසුන්ගේ ජීවන විත්ති එහිදී ප්‍රධාන වෙයි. එහෙත් වැඩි අවධානයකට ලක් නොවී වසරක් පාසා ඊට වඩා විශාල සංඛ්‍යාවක් දුම්රිය අනතුරු නිසා මියයෑම බරපතළ ඛේදවාචකයකි.

2017 වසරෙහි දුම්රිය අනතුරු නිසා 517 දෙනකු මියගොස් තිබේ. පසුගිය මාස හයක කාලයේදී මියගිය ගණන 233කි. මෙය ශෝචනීය මෙන්ම භයානක තත්වයකි. මේ කිසිදු මරණයක් දුම්රිය දෙකක් ගැටීමෙන් සිදු නොවීම විශේෂත්වයකි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න පවසන පරිදි දුම්රියට පැන දිවිනසා ගැනීම ප්‍රමුඛව විවිධ හේතු නිසා පසුගිය වසරේ මියගිය ගණන 441කි. හරස් මාර්ගවල වාහන ගැටීම නිසා සිදු වූ මරණ ගණන 60කි. හරස් මාර්ගවල සංඥා නොතකා වාහන ධාවනය කිරීමෙන් 134 දෙනකු මියගොස් ඇත. මේ තත්වය සැලකිල්ලට ගනිමින් මගීන්ගේ ආරක්ෂාව තකා නව නීති පැනවීමට අවශ්‍ය වන බව දුම්රිය ආරක්ෂක අධිකාරිවරයා පවසයි.

දිනකට 50000කට අධික ජනකායක් ගමනාගමනය සඳහා දුම්රිය භාවිත කරයි. විධිමත් දුම්රිය සේවයක් ඔවුහු නිතිපතා අපේක්ෂා කරති. අනෙක් පසින් මගීන්ගේ පාර්ශ්වයෙන් ඉටු විය යුතු වගකීමක්ද තිබේ. එය මගීන්ගේ ජීවිතාරක්ෂාව සමග අත්‍යන්තයෙන් බැඳෙයි. එහිදී මාර්ග නීති පිළිබඳ දැනුම අතිශයින් වැදගත් වේ. එමතු නොව තමන් කරන කටයුතු පිළිබඳ පියෙවි සිහියද වැදගත් වේ.

හරස් මාර්ගවලදී සිදු වන අනතුරුවලට බලපාන එක් හේතුවක් වන්නේ මාර්ග සංඥා නොතකා කටයුතු කිරීමය. මෑතකදී සෙල්පි ඡායාරූප ගන්නට යෑමෙන් සිදු වන මරණද වාර්තා විය. විනෝදය සඳහා තාක්ෂණික මෙවලම් භාවිතයේදී අනතුර ගැන නොසැලකිලිමත් වීම බියජනක ප්‍රතිඵල අත්කර දෙයි.

ඇතැම් හරස් මාර්ගවල උණ බම්බු ගේට්ටුවක්වත් නැත. විශේෂයෙන්ම වෙරළාසන්න දුම්රිය මාර්ග හරස් පාරවල යන්නන් හට සමුදුරු ගොස නිසා දුම්රිය හඬ නෑසේ. මේ හේතුවෙන් පසුගිය වසරේදී හිරිමල් වියේ යෞවනියෝ දෙදෙනෙක්ද සොහොයුරෝ දෙදෙනෙක්ද දුම්රියට බිලි වූහ. මෙවැනි ස්ථාන සඳහා අනතුරු ඇඟවීම් පුවරු සවි කළ යුතු වේ. ඊටද වඩා තාක්ෂණික මෙවලම් භාවිතයට ගත හැකි වේ.

දුම්රිය මාර්ග දෙපස අනවසර පදිංචිකරුවෝ විශාල පිරිසක් ජීවත් වෙති. අනතුරු වැඩි වීමට එයද හේතුවකි. ඔවුන් වෙනත් ස්ථානවල පදිංචි කරවීම පිළිබඳ සාකච්ඡා ඇති වී බොහෝ කල්ය. එහෙත් මේ වන තුරු ඒවා පල දරා නැත.

වඩා කාර්යක්ෂම, සුරක්ෂිත නවීන දුම්රිය සේවයක් ඇති කිරීම, මහාමාර්ග හා දුම්රිය මාර්ග නවීකරණය යනාදී පියවර ඔස්සේ දුමිරිය අනතුරුවලින් සිදු වන මරණ අවම කළ හැකිය.

රටවැසියන් පොදු ප්‍රවාහන සේවා භාවිතයට ගැනීමේදී ඒවායෙහි ස්වභාවය පිළිබඳ හරි අවබෝධයකින් කටයුතු කිරීම අනතුරු වළක්වා ගැනීමේ පළමු පියවරයි. ඒ පිළිබඳ දැනුම ලබාදීම පාසල්වලද වගකීමකි. එකල පාසල්වල විශේෂ වගකීමක් ලෙස දරුවන්ට පාරේ ගමන් කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත්ද උගන්වන ලදි. ප්‍රවාහන පද්ධතිය දියුණු වෙමින් පවතින මෙකල ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු විය යුතුය.

බස් රථ හා වෙනත් වාහන භාවිත කරන රියදුරන්ගේ අපරික්ෂාකාරී බවද අනතුරු ඉහළ යෑමේ හේතුවකි. බීමත්ව රිය පැදවීම, සුනිසි පුහුණුවක් නැතිකම, අනෙක් අයගේ ජීවිත පිළිබඳ ගරුත්වයක් නැතිකම යනාදී හේතු අනුව නොසැකිලිමත් රියදුරන් නිසා වාහන දුම්රියේ ගැටීමෙන් සිදු වන මරණ ගණන විශාලය. මේවා වළක්වා ගත හැක්කේ තමන්ගේ මෙන්ම අන්‍යයන්ගේද ජීවිත ගැන ගරුත්වයෙන් සිතන චින්තනයක් ගොඩනැගීමෙනි.

මාතෘකා