නීතියේ ආධිපත්‍යය

නීතියේ ආධිපත්‍යය

අත්තනෝමතික පාලකයෝ නීතිය දඬු කඳේ ගසති. තාලිබාන්වරුන් යටතේ ඇෆ්ගනිස්තානය, පොල්පොට් යටතේ කාම්බෝජය, පිනෝචෙට් යටතේ චිලී රට හෝ බොසාකා යටතේ මධ්‍යම අප්‍රිකන් රාජ්‍යය නීතිය සෙල්ලමට ගෙන එහි පිනුම් ගැසූ ඉතිහාස පාඩම සිහිපත් කරයි. නීතිය සියතට ගෙන එය කෙලෙසූ ඉතිහාස කතාව එතෙරට පමණක් නොව මෙරටටෙද ආදේශ කොට ගත හැකිය. ඉකුත් පාලන සමය එවැනි 'නින්දිත' කාල සමයකි. මෙරට නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග කළ රාජපක්ෂ යුගය තරම් වෙනත් කාලයක් සොයා ගැනීම උගහටය. මෙරට තුළ පවතින නීති සහ අධිකරණ ක්‍රියාවලිය අධිරාජ්‍‍ෙවාදීන්ගෙන් දායාද වූ මහඟුම වස්තුවකි. එහෙත්, 17වන ව්‍යවස්ථා සංශෝධනය අභිබවා 18වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ රාජපක්ෂ ජනාධිපතිවරයා මුලු රටම 'රෙජිමයක්'බවට පත් කිරීමේ ක්‍රියාන්විතය දියත් කළේය.

පාලන තන්ත්‍රය තුළ ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණය යනුවෙන් ස්ථම්භ තුනක් ගොඩ නගා ඇත්තේ රාජ්‍ය පාලනය අපක්ෂපාතී කිරීමටය. සමබර කිරීමයෙ. තනතුරු, මුදල් සහ වරප්‍රසාද ඇමුණූ බිලී කොකුවලින් බා ගත් මන්ත්‍රීවරුන් හරහා ව්‍යවස්ථාදායකය තම අණසකට යටත් කර ගැනීමට රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියා කළේය. ඉනුදු නොනැවතී යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ හිනිපෙත්ත වන ශ්‍රේෂ්ඨාධිකරණය විධායකයේ අතකොළුවක් බවට පත් කර ගැනීමට රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියා කළ ආකාරය මෙරට ජනතාවට අමතක කළ නොහැකිය.

රජයේ අත්තනෝමතික නීති විරෝධී පියවරවලට එරෙහිව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ලබා දුන් තීන්දු ඉවසා දරාගත නොහැකි වූ හිටපු ජනපතිවරයා ඉතිහාසයේ කෙදිනකවත් නොවූ විරූ ලෙස අගවිනිසුරුවරියට අපහාස කරමින් ඇයව තනතුරින් ඇද දැමීමට කටයුතු කළේය. එදා ජනාධිපතිවරයාගේ නැදෑ හිතමිත්‍රයින්ට අවාසි වන අන්දමේ සියලු තීන්දු ක්‍රියාත්මක නොකර සිටීමට තරම් අනිසි බලයක් ඔහු නතු කරගෙන තිබිණ. තමා සහ පිරිවරට ආවඩන විනිසුරුවරුන් සහ නීතිපතිවරයා නීති ක්ෂේත්‍රයේ හිමිකරුවන් බවට අභිෂේක ගැන්වීමට ඔහු ක්‍රියා කළේය. රාජ්‍ය සේවකයන්ට ප්‍රසිද්ධියේ අඩන්තේට්ටම් කළ දේශපාලඥයන්, සාමකාමී මහජන විරෝධතාවලට උණ්ඩයෙන් පිළිතුරු දීමට අණ දුන් මිලිටරි නායකයන්, ශේෂ්ඨාධිකරණයට අපහාස කළ නූගත් දේශපාලකයින්, රාජ්‍ය දේපළ අමු අමුවේ කොල්ලකෑ පවුලේ හිතවතුන් රාජපක්ෂගේ අධිකරණ ජුන්ටාව ඉදිරියේ සත්ගුණවත් බොධිසත්වයන් බවට පත් වූ අයුරු ජුගුප්සාජනක විය.

2015දී මෙරට බහුතර ජනතාව බලාපොරොත්තු වූ වෙනස්කම් අතර ප්‍රධානතම ඉල්ලීමක් වූයේ නීතියේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීමයි. ඒ අනුව, රාජපක්ෂ සමයේ හුදු නාමික බලතල සහිත ආයතනයක්ව පැවති අධිකරණ සේවා කොමිසම බලාත්මක කිරීමට වර්තමාන රජය ක්‍රියා කළේය. නීතිය ඉදිරියේ සමානාත්මතාවය යනු ඒ සමයේ හුදු දවල් හීනයක් පමණක්ම විය. එය දැන් යථාර්ථයක් බවට පත් වෙමින් ඇත. රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළම තලයේ සිටින චූදිත නිලධාරින්ට එරෙහිව පවා නීතිය ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ මේ සමයේය.

අද වන විට තරාතිරම, නිලය, ධන බලය හෝ ස්ත්‍රී පුරුෂභාවය නිතිය ඉදිරියේ වෙනස් සැලකීමක් ලැබීමට කාරණයක් නොවන තැනට පත් කිරීමට වත්මන් රජයට හැකියාව ලැබී ඇත. සාපරාධී ඝාතනවලට නීතිය නැමුණු යුගය නිම කරමින් වාචික තර්ජනයකට සිර දඬුවම් හිමිවන යුගයක් දක්වා පෙරළියක් සිදුව තිබේ.

වර්තමාන ආණ්ඩුවේ නම්‍යශීලී පිළිවෙත සහ මේ යුගයේ මානව නිදහස රජයේ දුර්වලතාවක් ලෙස දකින පිරිස මතක් කර ගතයුතු අතීතයක් ඇත. මේ ඒ මතකය යළිත් පිරික්සා බැලීමට කාලයයි.

පිළිතුරු දීමේ අයිතිය

පුවත්පතෙහි පළ වූ ප්‍රවෘත්තියකින් චෝදනාවට හෝ විවේචනයට ලක් වන පාර්ශ්වයකට, ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඒ සඳහා සාධාරණ ඉඩක් ලබා දීම අපගේ වගකීමක් කොට සලකමු.

ජනමාධ්‍ය ආචාරධර්ම

රැස කර්තෘ මණ්ඩලය, ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් ප්‍රකාශිත ආචාරධර්ම පද්ධතිය හා බැඳී සිටින අතර ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ නියාමනය පිළිගනී.

ආචාරධර්ම කඩ වූ හෝ, පිළිතුරු අයිතිය ලබාදීම සම්බන්ධයෙන් සෑහීමට පත් විය නොහැකි වූ අවස්ථාවලදී පුවත්පත් පැමිණිලි කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම,

96, කිරුළ පාර, කොළඹ 5.

දුරකථන - 5353635, 4500155 - ෆැක්ස් 5335500

ඊමේල්- [email protected]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?