ඉතිහාසය අලුතින් ලියැවෙන හමුවක්

ඉතිහාසය අලුතින් ලියැවෙන හමුවක්

පිපිරෙන්නට ආසන්නව තිබූ මහා ගිනි කන්දක් සිහිල් විය. උණුසුම්ව තිබූ බිලියන ගණනක් හදවත් ඒ සිහිලැල්ලෙන් සුවපත් විය. අලුත් බලාපොරොත්තු ඒ හදවත්වල දැල්විණ. මේ අසිරිමත් වෙනසට බලපෑවේ ඓතිහාසික හමුවකි.

දිනය 2018 ජුනි 12 වැනිදාය. ස්ථානය සිංගප්පූරුවේ සැන්තො සා දූපතේ කැපෙල්ලා හෝටලයයි.

නයි මුගටි සටන වැනි දරුණු වාග් සංග්‍රාමයකින් කලක් තිස්සේ සටන් කර ඒ අරෝව හිතින් මකාගෙන හමු වූ මේ දෙදෙනා ලොව ඉහළම බලයක් ඇති රාජ්‍ය නායකයන් දෙපළක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග් උන්ය. දෙදෙනා අතර පසුගිය සමයෙහි හුවමාරුවූ වූ වයිරක්කාර ප්‍රකාශ අනුව ලොවට පෙනී ගියේ කුමන හෝ මොහොතක යුද්ධයක් ඇති වී මුළු ලොවම එයින් අස්ථාවර විය හැකි බවය.

මේ සම්බන්ධයෙන් ලියැවුණු දෙස් විදෙස් විචාර ලිපි සංඛ්‍යාව විශාලය. සියල්ලෙන් ඇඳුණේ බිහිසුණු චිත්‍රයකි. දෙදෙනාම නාහෙට අහන්නැති වර්ගයේ නායකයන් නිසා භීතිය වැඩි විය. අන්තිමේදී අංශක 180ක් කැරකුණු ප්‍රතිඵලයක් ලැබිණ.

මීට කලකට පෙර ඉරාකයේ රාජ්‍ය නායකයාව සිටි සදාම් හුසේන් සහ ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බූෂ් අතර මෙවැනිම දිග් ගැසුණු රණ්ඩුවක් විය.

"ඇමරිකාව වියරුවෙන්. සදාම් හුසේන් සීරුවෙන්"

1991 වසරේ ලක්මිණ පුවත්පතක ශීර්ෂ පාඨය එසේ විය. දීර්ඝ කාලයකට පසු ඇමරිකාව බ්‍රිතාන්‍යයද හවුල් කරගෙන ඉරාකය ආක්‍රමණය කළේය. සදාම් හුසේන් මරා දැමීමෙන් පසුව මේ වන විට දශ ලක්ෂයකට වඩා යුද්ධයට බිලි වී තිබේ. ඒ යුද්ධය පිටුපස තිබුණේ තෙල්ය. මේ 'සීතල යුද්ධයට' පසුබිම් වූයේ න්‍යෂ්ටික අවිය.

ඒ යුද්ධය තවමත් කෙරෙයි. එය මැද පෙරදිග කලාපයම ලේ විලක් කර ඇත. මේ යුද්ධය වචනවලින් ඔබ්බට නොයෑම ලෝකවාසී සැමගේ වාසනාවකි.

12 දා පැවති ඓතිහාසික සාකච්ඡාවෙහි ප්‍රතිඵල ලෙස "ට්‍රම්ප්-කිම් ප්‍රඥප්තිය" මැයෙන් සම්මුතියක්ද ඇති වී තිබේ.

උතුරු කොරියානු න්‍යෂ්ටිකහරණය, කොරියානු කලාපයේ සාමය ආරක්ෂා කිරීම, එක්සත් ජනපදය හා උතුරු කොරියාව අතර නව සම්බන්ධතා ඇති කර ගැනීම, යුද සිරකරුවන් නිදහස් කිරීම යනු මේ සම්මුතියට ඇතුළත් ප්‍රධාන කරුණුය. මේ සියල්ල යහපත්ය. උතුරු ‍ෙකාරියානු නායකයා දකුණු කොරියාව සමග පැටලී තිබුණේද විශාල ආරවුලකය. ඒ අතින් ඔහු ඇමරිකානු ජනාධිපතිටත් එහා ගිය බලකාමයක් ප්‍රදර්ශනය කළේය. උතුරු කොරියාව කෙටි කලකදී ලබාගත් දියුණුව ඒ මානසිකත්වයට බලපාන්නට ඇත.

ට්‍රම්ප් සහ කිම් අතර කටින් කෙරුණු සටන සුහද හමුවකින් අවසන් වෙමින් අවිවලට නිවාඩු දීම සුවිශේෂ සුදුවීමකි. මැදපෙරදිග ගින්න තවත් විශාල කලාපයක පැතිරෙන්නට තිබූ ඉඩකඩ එයින් වැළකී ගියේය. මෙය ප්‍රවේශයක් කරගනිමින් මැද පෙරදිග රටවල ඇවිළෙන යුද්ධය අවසන් කිරීමේ නැඹුරුවක් ඇති කිරීම ලොව සාමය අගයන හදවත්වල ඒකායන පැතුමයි.

පිළිතුරු දීමේ අයිතිය

පුවත්පතෙහි පළ වූ ප්‍රවෘත්තියකින් චෝදනාවට හෝ විවේචනයට ලක් වන පාර්ශ්වයකට, ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඒ සඳහා සාධාරණ ඉඩක් ලබා දීම අපගේ වගකීමක් කොට සලකමු.

ජනමාධ්‍ය ආචාරධර්ම

රැස කර්තෘ මණ්ඩලය, ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් ප්‍රකාශිත ආචාරධර්ම පද්ධතිය හා බැඳී සිටින අතර ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ නියාමනය පිළිගනී.

ආචාරධර්ම කඩ වූ හෝ, පිළිතුරු අයිතිය ලබාදීම සම්බන්ධයෙන් සෑහීමට පත් විය නොහැකි වූ අවස්ථාවලදී පුවත්පත් පැමිණිලි කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම,

96, කිරුළ පාර, කොළඹ 5.

දුරකථන - 5353635, 4500155 - ෆැක්ස් 5335500

ඊමේල්- [email protected]

මාතෘකා