ප්‍රාථමික පාසැල් පන්ති කුකුළු කොටු කිරීමේ දේශපාලනය

ප්‍රාථමික පාසැල් පන්ති කුකුළු කොටු කිරීමේ දේශපාලනය

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකමින් ප්‍රාථමික පන්තිවලට සිසුන් 35 ඉක්මවා බඳවාගෙන ඇති බවට බොහෝ පළාත්වලින් අනාවරණය වේ. අධ්‍යාපන ඇමතිවරයා මීට විරෝධය පළ කර තිබේ. නියමිත ශිෂ්‍ය සංඛ්‍යාව ඉක්මවමින් සිසුන් පන්තිවලට ඇතුළත් කිරීම සඳහා බලපා ඇත්තේ දේශපාලකයන්ගේ නියෝග බව පෙනේ. මෙය භයානක තත්වයකි. අධිකරණ නියෝගය තුට්ටු දෙකටවත් මායිම් කර නැති බව පැහැදිලිය.

පසුගියදා කොට්ටාව ධර්මපාල විදුහලේ ගුරු දෙගුරු හමුවකදී අනාවරණය වූයේ පන්ති කාමර හිඟයක් තිබියදීත් වැඩිපුර ළමයින් බඳවා ගැනීමට බස්නාහිර පළාත් දේශපාලකයන්ගෙන් බලපෑම් එල්ල වී ඇති බව හා විදුහල්පතිනිය නීතියට අනුව කටයුතු කිරීම සඳහා දැඩි උත්සාහයක නිරත වන බවය.

පාසල් පද්ධතියෙහි ගෙල සිර කිරීමට බලපා ඇත්තේ ජනප්‍රිය විදුහල් පොරයට වැටී සිටින දෙමව්පියන් හා ඔවුන්ගෙන් අල්ලස් ගෙන දරුවන් ප්‍රාථමික පන්තිවලට ඇතුළත් කිරීමට බලපෑම් කරන දේශපාලකයන්ය. පන්නිපිටියේ ජනප්‍රිය ජාතික පාසලකට දරුවන් ඇතුළත් කරගැනීම සඳහා එහි ආදි ශිෂ්‍ය සංගමය රුපියල් ලක්ෂ හතහමාරක් ඉල්ලීමෙන් පෙනී යනුයේ මෙය විශාල ජාවාරමක් වී ඇති බවය.

මේ නිසා පිළිගත් නීතිය හා සම්ප්‍රදායට අනුව කටයුතු කරන විදුහල්පතිවරු අසීරුවට ලක් වෙති. එසේ නොකරන විදුහල්පතිවරු මෙය ධන ඉල්ලුමක් කර ගනිති. පන්නිපිටිය සහ කොට්ටාව අතර ඇති කෙටි දුරට වඩා විදුහල්පති පුටු දෙකක පරතරය ගව් ගණනකි.

මෙය මුළු රටේම පොදු තත්වයයි.

ප්‍රාථමික පන්තියක සිසුන් ගණන 35 කට සීමා කර ඇත්තේ ගුරුවරයකුට සිසුන් සියලු දෙනා ගැන අවධානයෙන් හා නිරීක්ෂණයෙන් කටයුතු කිරීමේ අපහසුව නිසාය. දරුවන් සියලු දෙනා ගැන හරි අවබෝධයක් ගුරුවරයාට අවශ්‍ය වේ. කුකුළු කොටුවක පරිද්දෙන් දරුවන් පන්තිවල ගාල් කළ විට ඉගෙනුම් ක්‍රියාවලිය අසාර්ථක වේ. දරුවන් ඉගෙනුම ලබන්නේ විශාල පීඩාවක් මැදය.

පළාත් සභාවල මහඇමතිවරයා අධ්‍යාපන ඇමති ධුරය තමන් සන්තක කර ගැනීමට දරන උත්සාහයෙහි සැඟවුණු රහසක් පවතී. ඒ රහස කවුරුත් දනිති. බස්නාහිර අධ්‍යාපන ඇමතිවරයාට කළුතරින් මෙහාට පය තැබීමේ අවස්ථාව මහ ඇමතිවරයා අහිමි කර ඇති බව දෙපාර්ශ්වය නගාගන්නා චෝදනාවලින් පෙනේ. මෙය අශෝභන තත්වයකි.

තම ආධාරකරුවන්ගේ හෝ අල්ලස් ලබාදුන් අයගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම සඳහා විදුහල්පතිවරුන්ට ලිඛිතව හා වාචිකව බලපෑම් කරන දේශපාලකයන් පිළිබඳ රටේ හැම පළාතකින්ම තොරතුරු අනාවරණය වේ.

මෙය විසඳීමට අපහසු සංකීර්ණ ගැටලුවකි. කොටින්ම අධිකරණ නියෝගයටත් එය බැරි වී ඇත. මෙය විසඳිය හැක්කේ පාර්ශ්ව කිහිපයක ක්‍රියාකාරිත්වයෙනි. දෙමාපියන් පළමුව තම ඔළුවෙහි කොටා ඇති ජනප්‍රිය පාසල් මිථ්‍යාවෙන් මිදිය යුතුය. එය කළ හැකි එක් මගක් වන්නේ ග්‍රාමීය පාසල් හා නගරයේ දෙවැනි පෙළ පාසල්වලට අවශ්‍ය භෞතික, මානව සම්පත් ලබාදී දෙමව්පියන්ගේ විශ්වාසය තහවුරු කිරීමය.

වත්මන් රජය ආරම්භ කළ ‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන හොඳ පිළියමකි. දෙමව්පියන්ගේ ආකල්ප වෙනස් කිරීමේ වැඩසටහනක්ද ඊට සමාන්තරව අවශ්‍ය වේ.

නොඑසේ නම් ඡන්දදායකයන් අමනාප කරගැනීමෙන් වැළකීමේ ප්‍රතිපත්තියට අනුව කටයුතු කිරීමෙන් පාසල් පද්ධතියට අතපෙවීම් සිදු වේ.

රටේ අධ්‍යාපන ක්‍රියාවලිය නිරෝගීව පවත්වාගෙන යෑම රට හැදීමේ පදනමයි.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?