ඒ අසිරිමත් හදවත

ඒ අසිරිමත් හදවත

මේ දිනවල බොහෝ දෙනාගේ හදවත් දිනා ගැනීමට සමත් වූ ඡායාරූප පෙළක් මුද්‍රිත, විද්‍ය ුත් හා සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ කර්නල් රත්නප්‍රිය බන්දු කිලිනොච්චියෙන් සමුගන්නා මොහොතේ ඔහුගෙන් සේවය ලද දෙමළ ජනතාවගේ හෘදයාංගම ප්‍රතිචාරය මේ ඡායාරූපවලින් පෙනේ.

හුදු හමුදා නිලධාරියකු වූ පමණින් මෙබඳු උණුසුම් ප්‍රතිචාරයක් ලැබේ යැයි සිතිය නොහැක. නිල ඇඳුම යටින් ඇති මනුෂ්‍යත්වය සහ දයා ගුණයද ගැටුම් කළමනාකරණය හා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඇති සහජ ශක්තියද ඔහු ලද ජනාදරයට හේතු වී තිබේ. යුද්ධයෙන් පසු ජන ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් ආරම්භ කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නිර්මාණශීලීව මෙහෙයවීමට කර්නල්වරයා සමත්ව ඇත.

ඔහු නායකත්වය දුන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට දහස් ගණන් පිරිස් සම්බන්ධ වූහ. ඔහුගේම සංකල්පයක් අනුව එක පවුලක් යන හැඟීම හදවත් තුළට කාවැද්දීමත් ගරුත්වය, විශ්වාසය, දයාව, කැපවීම යන කණු සතර එහි පදනම හැටියට සැලකීමත් විශේෂත්වයකි. එල්ටීටීඊයට සම්බන්ධව සිටි පිරිස් පුනරුත්ථාපනය කිරීම හා සුනිසි පුහුණුවක් අනුව ජීවන මං පෙත් පාදා දීම මේ ක්‍රියාවලියයි.

විශ්වමඩු කේන්ද්‍ර‍ කරගනිමින් 2012 දී වැඩ සටහන ආරම්භ විය. කෙටි කලක දී විශාල පරිවර්තනයක් කිරීමට රත්නප්‍රිය බන්දු මහතාගේ නායකත්වය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට හැකිව තිබේ. මානව සම්පත් කළමනාකරණ විෂයෙහි ඔහුගේ සමත්කම පෙනී යනුයේ උතුරා යන ජීවයක් සහිත මෙල්ල කිරීමට අසීරු තරුණයකු සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළ පිළිවෙතිනි. ඔහුට පැවරුණේ අන් අයගේ ද සහාය ඇතිව වැවක් තැනීමය. අක්කර පනහක් පමණ වූ වැව තනා නිම වන විට එම තරුණයාගේ අභ්‍යන්තර වෙනසක්ද සිදු විය. කර්නල්වරයාගේ දුර දක්නා බුද්ධිය හා දයා ගුණය කැපී පෙනෙන අවස්ථාවකි එය.

යුද්ධයෙන් තුවාල වූ හදවත් සුවපත් කළ හැක්කේ මෙවැනි ක්‍රියාමාර්ගවලින් පමණි. යුද්ධයෙහිදී ඇතැම් හමුදා නිලධාරීන් යුද ආචාර ධර්ම කඩ කළ අවස්ථා ඇත. එල්ටීටීඊ පිස්තෝල කල්ලිය අතින් හමුදා සෙබළුන් දෙදෙනකු ඝාතනය කිරීමේ පලිය ගැනීමට කුමාරපුරම් වැසියන් 27 දෙනෙකු ඝාතනය කිරීම එක් නිදසුනකි. රණවිරු චින්තනය උඩ දැමූ පමණින් එවැනි අපරාධකරුවන් සුවඳ කපුරුහාමිලා වන්නේ නැත. නීතියට අනුව ඔවුන්ට දඬුවම් දීම ආරක්ෂක අංශවල ගෞරවය රැකීමේද මගකි. යුද්ධයට මැදි වූ දෙමළ ජනතාවට මේ දෙවිදියේම අත්දැකීම් ඇත.

යුද්ධයෙන් ජීවිත හා දේපළ හානිවලට වඩා සිදු වූ සංස්කෘතික විනාශය අතිමහත්ය. එය වසර සිය ගණනකින්වත් ගොඩ නැගීම අසීරුය.

1971 වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය යාපනයේ පැවැත් වූ මොහොතෙහි දකුණෙන් පැමිණි එම සංස්කෘතික දූතයාට දෙමළ ජනතාව තම ගෞරවාදරය පළ කළේ සුවිසල් රතු ලූනු මාලයක් පැලඳවීමෙනි. යුද්ධය ඇවිළ ගියේ එයින් දශකයකටත් පසුවය. එයින් උතුරේ දෙමළ සංස්කෘතිය සුන්බුන් විය. දකුණ අරාජික විය. රට ආර්ථික අර්බුදයක ගිලිණ.

මාලා පැලඳවීම දමිළ සංස්කෘතියේ පූජනීය අංගයකි. කර්නල්වරයාගේ සිරුරම වැසෙන සේ පලඳවන ලද විචිත්‍ර වූ මල් මාලා සමූහය මැකීගිය සංස්කෘතියක ලකුණු සිහි කැඳවයි. එහෙයින් කර්නල්වරයාද එක් අතකින් අන්තර් සංස්කෘතික පෝෂණයට දායක වූ දූතයෙකි.

යුද්ධයෙන් පසුව ජනනායකයන් විසින් කළ යුතුව තිබුණේ රණවිරු සැමරුම උත්කර්ෂයෙන් පවත්වමින් තුවාල වූ හදවත් තවත් පෑරීම නොව යුද්ධයෙන් මියගිය සියලු මිනිසුන් සමරන ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමය. ඒ සඳහා දැක්මක් නායකයන්ට නොවීය. මේ අනුව කර්නල් රත්නප්‍රිය බන්දුගෙන් දේශපාලකයන්ටද පාඩමක් ඉගෙනගත හැක. ඒ වනාහී මනුෂ්‍යත්වයේ පාඩමයි.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?