ම්ලේච්ඡ සම්ප්‍රදායකට එරෙහිව

ම්ලේච්ඡ සම්ප්‍රදායකට එරෙහිව

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙහි ඇටුවම් බැස තිබෙන අශිෂ්ට සම්ප්‍රදායක් වන නවකවදය තුරන් කිරීම නැවත වරක් සාකච්ඡාවට ලක්වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව ජනාධිපතිවරයා මෙන්ම විජේදාස රාජපක්ෂ ඇමතිවරයාද ප්‍රකාශ කර ඇත.

නවකවදය හිස ඔසවන අවස්ථාවල එය නැවැත්වීම සම්බන්ධයෙන් කරන ප්‍රකාශත් ඉන් පසු ක්‍රමයෙන් එය අමතක වීමත් නවකවදය මෙන්ම සුපුරුදු සම්ප්‍රදායකි. අවසානයේ ගැසූ බෙරයකුත් නැත. බෙරයේ පලුවකුත් නැත. එහෙත් මෙවර හෝ මේ සම්බන්ධයෙන් නිවැරදි විසඳුමක් ලැබෙනු ඇත යන්න හිංසනයට එරෙහි පාර්ශ්වවල බලාපොරොත්තුවයි.

නවකයන් සරසවි උපසංස්කෘතියට අන්තර්ග්‍රහණය කර ගැනීම සඳහා ‍‍ෙජ්‍යෂ්ඨ සිසුන් ආරම්භ කළ සුන්දර මෙන්ම අහිංසාවාදී සම්ප්‍රදායක් වූ නවකවදය වත්මන වන විට සිසු ජීවිත මරණයෙන් හෝ රෝගීභාවයෙන් කෙළවර කරන ගෝත්‍රික සම්ප්‍රදායක් වී තිබීම සමාජ විද්‍යාඥයන්ගේ අවධානයට ලක් විය යුත්තකි. නවකවදයට මුහුණ දෙනු නොහැකිව සරසවිය හැරදමා ගිය පිරිසද විශාලය. එසේම මේ අශිෂ්ට පිළිවෙත්වලට තම දරුවන් මුහුණ දෙනු දැකීමට අකමැති ඇතැම් දෙමාපියන් සරසවි වරම් ලැබූ තම දරුවන් වෙනත් ක්ෂේත්‍රවලට යොමු කළ අවස්ථාද නැතිවා නොවේ.

නවකවදය දරුණු අයුරින් පවත්වාගෙන යන්නේ තම ශිෂ්‍ය සංගම්වලට නවකයන් බා ගැනීමේ අරමුණින් කටයුතු කරන කල්ලිය. ඒ හැර වෙනත් අරමුණුවලින් නවකවදයෙහි යෙදෙන්නෝද සිටිත්.

නවකවදය යනු අනෙකා මත ආධිපත්‍යය පතුරුවන ආක්‍රමණශීලී චර්යාවකි. හීනමානය, පරපීඩා කාමුකත්වය, සාදිස්මය යනාදී මනෝ මූලික නැඹුරුතාද මෙහිදී ක්‍රියාත්මක වේ. ඩෙස්මන් මොරිස් නමැති සත්ව විද්‍යාඥයා වානර වර්ග සහ මිනිසා පිළිබඳ කළ චර්යා අධ්‍යයන අනුව ම්ලේච්ඡ යුගයෙහි පටන් ක්‍රියාත්මක වූ ඇතැම් මානව චර්යාවන් නවකවදයෙහිදීද ක්‍රියාත්මක වන බව පෙනේ. එහෙයින් මෙය එක් අතකින් සරසවි සිසුන් ලද අධ්‍යාපනයෙහිද අඩුපාඩුවකි. මානව චර්යාවල ස්වභාවය ගැන අධ්‍යයනයක් ඇත්තකු හට ඇතැම් විට තම හැසිරීම් පිළිබඳව ලැජ්ජාවක් ඇති විය හැකිය. එවැන්නෙකු නවකවදය වැනි අශිෂ්ට ක්‍රියාවන්ට පෙළඹේ යැයි සිතිය නොහැක.

තවත් පැත්තක් තිබේ. කිසියම් වර්ෂයක ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායම් නවකයන්ට වද දීම නැවැත්වීමේ තීන්දුව ගතහොත් ඊළඟ වසරේ සිට නවකවදය නවතී. මන්ද යත් ඊළඟ වසරේ නවකවදයෙහි යෙදෙන්නේ මේ වසරෙහි නවකවදය ලැබූවන් වන හෙයිනි.

වත්මනෙහි සරසවි බොහොමයක බලය අල්ලාගෙන සිටිනුයේ පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ සිසු කණ්ඩායම්ය. අතීතයෙහි ඒ බලය තිබුණේ ජවිපෙටය. සමාජ සාධාරණත්වය ගැන මොනවා කථා කළත් අශිෂ්ට සම්ප්‍රදායක් පවත්වාගෙන යෑම අතින් පක්ෂ දෙකම එකය.

මෙය නැවැත්වීම ආණ්ඩුවකට තනිව කළ හැක්කක් නොවේ. සියලු ශිෂ්‍ය සංගම් එක්ව ඇති කරගන්නා ගැඹුරු කතිකාවක් මගින් නවකවදය වැනි ගෝත්‍රික සිරිතක් තවදුරටත් පවත්වාගෙන යා යුතුද යන තීන්දුව ගත හැකිය. සහභාගීත්ව තීන්දුවකින් මිස ආණ්ඩුවේ පාර්ශ්වය පමණක් ගන්නා තීන්දුවකින් ප්‍රතිඵලයක් ලැබේද යන්න සැකසහිතය.

ජනමාධ්‍ය ආචාරධර්ම

රැස කර්තෘ මණ්ඩලය, ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් ප්‍රකාශිත ආචාරධර්ම පද්ධතිය හා බැඳී සිටින අතර ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ නියාමනය පිළිගනී.

ආචාරධර්ම කඩ වූ හෝ, පිළිතුරු අයිතිය ලබාදීම සම්බන්ධයෙන් සෑහීමට පත් විය නොහැකි වූ අවස්ථාවලදි පුවත්පත් පැමිණිලි කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම,

96, කිරුළ පාර, කොළඹ 5.

දුරකථන - 5353635, 4500155 - ෆැක්ස් 5335500

ඊමේල්- [email protected]

මාතෘකා