අභියෝගාත්මක පියවරක්

අභියෝගාත්මක පියවරක්

ටෙලි නාට්‍ය නිර්මාණ අලෙවියේදී සියයට 14ක බද්දක් අය කිරීමට ගෙන තිබූ තීන්දුව වෙනස් කිරීම ඔස්සේ රජයේ බදු ප්‍රතිපත්තිය නැවත වරක් සාකච්ඡාවට ලක් වෙමින් පවතී. බදු ප්‍රතිපත්තියෙහි ඇතැම් තැන් යළි සලකා බලන මට්ටමට ආණ්ඩුවේ ප්‍රධානීන් නම්‍යශීලී වීම ජනමතයට පිටු නොපා කටයුතු කිරීම පිළිබඳ හොඳ සංඥාවකි. ඕනෑම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික තත්ත්වයන් අනුව වෙනස්කම්වලට ලක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ස්වභාවයයි. එම නම්‍යශීලිත්වය අගය කළ යුතුය.

එහෙත් ආණ්ඩුවේ හැම කටයුත්තක්ම ජනතා විරෝධී ක්‍රියා ලෙස අර්ථ දක්වන පරාජිත දේශපාලන කල්ලි පවසන පරිදි බදු ප්‍රතිපත්තිය හකුළා ගැනීමක් සිදු නොවන බව පැහැදිලිය. මන්ද යත් රාජ්‍ය ආදායම් පිළිබඳ දරුණු අර්බුදයක් පවතින මොහොතක බදු ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීම අවශ්‍යව තිබූ හෙයිනි. මෙකී මූල්‍ය අර්බුදය යහපාලන ආණ්ඩුව ඇති කළ එකක් නොවේ. ඊට වැඩියෙන්ම වගකිව යුත් වන්නේ දැන් විවේචකයන් වී සිටින පරාජිත නායකයන් බවද කිව යුතුය.

රාජ්‍ය ආදායම් පියවා ගැනීම සඳහා එක්කෝ විදෙස් ණය ගත යුතුය. නො එසේ නම් බදු අය කිරීම පුළුල් කළ යුතුය. පසු ගිය දශක එක හමාරක පමණ කාලයෙහි ගත් විදෙස් ණය කන්දරාව අනුව රට ණය උගුලක සිර කිරීමට මේ රජය පියවර නොගත්තේය. අනෙක් විකල්පය වූ බදු ප්‍රතිපත්තිය සකස් කිරීමේ කටයුත්තට මුදල් ඇමතිවරයා අත තැබුවේය. එය විවේචනය කරන්නෝ විකල්ප නොදක්වති.

බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වරක් මෙසේ පැවසීය.

"ඇති හැකි අයට වැඩි වගකීමක් ලබාදෙමින් නැති බැරි දුප්පත් ජනතාවට බදු පීඩනය අවම කරමින් සංවර්ධනය ඉදිරියට ගෙන යෑම මෙහි අරමුණයි"

මේ අනුව බදු ගෙවීමේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරීම යහපත් අරමුණකින් කරන ක්‍රියාවකි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික බදු ආදායම් ප්‍රමාණය වර්ධනය විය. 2014 සිට 2017 වන දක්වා රු. බිලියන 470 දක්වා බදු ආදායම වැඩි වී ඇත. සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය සියයට 137කි. අතීත බදු ප්‍රතිපත්තිය අනුව මෙය හොඳ වර්ධනයකි. එහෙත් බදු දැලෙන් පනින මෝරුන් කොටු කිරීම දුෂ්කර අභියෝගයකි.

වත්මන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය විවේචනය කරන සහෝදර සමාගම රට පාලනය කළ සමයෙහි කොල්ලකෑ රාජ්‍ය දේපළවල වටිනාකම බිලියන ගණනකි. ඒවා විදෙස් බැංකුවල තැන්පත් කර ඇත. දැන් ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ. එමෙන්ම නායකයන්ට ඇති සමීපකම අනුව බදු දැලෙන් පනින ධනවතුන් පිළිබඳ නරක අතීතයක් තිබේ.

ධනවතුන් හා ඉහළ වෘත්තිකයන් බදු ගෙවීම පැහැර හරින විට සෘජු බදු වෙනුවට වක්‍ර බදු පැනවීමට පාලකයන්ට සිදු වේ. ඒ අනුව පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑමෙන් මහජනයා අසීරුවට ලක් වේ. මේ නිසා සෘජු බදු අයකර ගැනීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය වේ. මුදල් ඇමතිවරයා අත ගසා ඇත්තේ එම බැරෑරුම් කටයුත්තටය.

බදු ආදායම් එකතු කර ගැනීමේ ශක්තිය අතින් ලොව රටවල් අතර ලංකාව සිටිනුයේ පහළ තැනකය. කළු ආර්ථිකය සමග බැඳුණු පිරිහුණු දේශපාලන සංස්කෘතිය ඊට හේතුවයි. බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමෙහිදී වැඩියෙන්ම කලබලයට පත්වන්නේ මෙකී කළු ආර්ථිකයට ආවඩන බලගතු පාර්ශ්වයි. එයින් බලය පවත්වා ගෙන යන ලුම්පන් දේශපාලන බලවේගයි. එහෙයින් මෙය අභියෝගාත්මක පියවරකි.

පිළිතුරු දීමේ අයිතිය

පුවත්පතෙහි පළ වූ ප්‍රවෘත්තියකින් චෝදනාවට හෝ විවේචනයට ලක් වන පාර්ශ්වයකට, ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඒ සඳහා සාධාරණ ඉඩක් ලබා දීම අපගේ වගකීමක් කොට සලකමු.

ජනමාධ්‍ය ආචාරධර්ම

රැස කර්තෘ මණ්ඩලය, ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් ප්‍රකාශිත ආචාරධර්ම පද්ධතිය හා බැඳී සිටින අතර ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ නියාමනය පිළිගනී.

ආචාරධර්ම කඩ වූ හෝ, පිළිතුරු අයිතිය ලබාදීම සම්බන්ධයෙන් සෑහීමට පත් විය නොහැකි වූ අවස්ථාවලදී පුවත්පත් පැමිණිලි කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම,

96, කිරුළ පාර, කොළඹ 5.

දුරකථන - 5353635, 4500155 - ෆැක්ස් 5335500

ඊමේල්- [email protected]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?