වැව් 2400 ව්‍යාපෘතිය

වැව් 2400 ව්‍යාපෘතිය

වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කඩිනමින් කෙරෙමින් පවතින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය දා රඹකැන්ඔය ඉඩම් ඔප්පු ප්‍රදානයකදී පැවසීය. මෙය ක්‍රියාත්මක වනුයේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියට සමාන්තරවය. වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍යායතනවල සහාය ලැබී තිබේ. මොරගහකන්ද කළුගඟ සහ වැව් 2400 වැඩසටහන රටේ සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනයට පදනම වනු ඇති බව ජනාධිපතිවරයාගේ අදහසයි.

මෙයින් පැහැදිලි වන එක් කරුණක් තිබේ. එනම් වත්මන් රජය මගින් ආරම්භ කර ඇති වැදගත් ව්‍යාපෘති පිළිබඳ ප්‍රමාණවත් දැනුවත් කිරීමක් සිදුවී නොමැති බවය. එය රජය පාර්ශ්වයෙන් කැපී පෙනෙන අඩුපාඩුවකි.

මොරගහකන්ද කළුගඟ මහා ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන සැලැස්මේ කුටප්‍රාප්තිය ලෙස සැලකිය හැකිය. මෙහි වයඹ මහ ඇළ සහ උතුරු මැද මහ ඇළ දැවැන්ත නිර්මාණයකි. විශේෂයෙන්ම උතුරු මැද මහ ඇළ උතුරු පළාත දක්වා විහිදෙයි. මහවැලි යෝධ සැලැස්ම ක්‍රියාත්මක කිරීම මීට වඩා ඉක්මන් වූයේ නම් දකුණේ පාලකයන් උතුරට වෙනම හැන්දකින් බෙදන බවට ඇති චෝදනාවද අහෝසි වන්නට ඉඩ තිබිණ. එහෙයින් මෙය යහපාලන රජය යටතේ ක්‍රියාත්මක වූ විශිෂ්ට වාරි නිර්මාණයක් ලෙස පිළිගත හැකිය.

මහා ජලාශ සහ අැළ මාර්ග සංවර්ධනය කිරීමට සමාන්තරව වැව් පිළිසකර කිරීම වැදගත් වන්නේ ඒවායින් බොහොමයක් පුරන්වෙමින් පවතින හෙයිනි. ජනාධිපතිවරයාගේ අදහස වන්නේ මෙතරම් වැව් සංඛ්‍යාවක් පිළිසකර කෙරෙන පළමු අවස්ථාව මෙය බවයි. මෙහිදී තවත් වැදගත් කරුණක් සිහිපත් කළ යුතුය. එනම් මෙතෙක් කල් ක්‍රියාත්මක වූ වැව් ප්‍රතිසංස්කරණ අසාර්ථක වූයේ මන්ද යන්නය. ජවිපෙ වැව් දහස වැඩසටහන ආසන්නම අත්දැකීමයි. මෙය ක්‍රියාත්මක වූයේ පරිවාස ආණ්ඩු සමයෙහිදීය. පිළිසකර කළ වැව් විශාල ගණනක් කෙටි කලකදී පරණ තත්වයට පත්විය. වැව තනි ඒකකයක් හෙවත් ටැංකියක් ලෙස සලකා කටයුතු කිරීම මීට හේතුවයි. වැව යනු පද්ධතියක කොටසකි.

සිංහල සංස්කෘතියෙහි පදනම වැටුණේ ප්‍රථම වැව කැණවූ පණ්ඩුකාභයගෙන් යැයි මාර්ටින් වික්‍රමසිංහ පැවසීය. පොදු ජනකායක් හැටියට ලාංකිකයා එකට බැඳ තැබීමට වැව් හේතු වූ බව ඔහුගේ නිරීක්ෂණයයි. එදා තිබූ වැව් සංස්කෘතිය අද එලෙසම දක්නට නැත. එහෙත් ජනදිවියෙහි කෘෂිකාර්මික පදනම උඩුයටිකුරු වන වෙනසක්ද සිදු වී නැත. මෙරට ආර්ථිකයෙහි කෘෂිකාර්මික දායකත්වය සංඛ්‍යා දත්තවලින් එහාට ගිය එකකි. වැව් ගම්මානවල පොදු ලක්ෂණය වන්නේ ගොවිතැනට අමතරව තවත් ප්‍රයෝජන රාශියක් ඇති බවය.

වැව පද්ධතියක් ලෙස සැලකිය හැකි වන්නේ ඊට අනුබද්ධව පෝෂක හා පෝෂිත ප්‍රදේශ, රක්ෂිතය, කුළු වැව් යනාදී අංග රැසක් ඇති හෙයිනි. මෙය පරිසර පද්ධතියකි. වැවක් පිරෙන විට ඉහත්තාවේ පොල් ඉඩම් යටවීමෙන් පෙනෙන්නේ වැව තම මායිම ලකුණු කර ඇති බව හා වැව් රක්ෂිතය කලක් තිස්සේ දේශපාලන බලවතුන් ආධාරකරුවන්ට සැලකීම සඳහා භාවිත කර ඇති බවය. වැව් රක්ෂිත වැනසීමෙන් කුළු වැව් විනාශ වීම නිසා කෙටි කලකදී වැව සිඳෙයි. සෝදා පාළුවට ලක් වෙයි. මේ නිසා වැව් පිළිසකර කිරීමේදී වැව හාරා පස් ගොඩ දැමීමෙන් පලක් නොවේ. දැඩි නීති පනවා වැවට අනුබද්ධ පරිසර පද්ධතිය ආරක්ෂා කළ යුතුය. වැව් පිළිසකර කිරීම සඳහා යොදන මුදල් සම්භාරය අර්ථවත් වන්නේ එවිටය.

වැව් 2400 වැඩසටහන ඵල දැරීමට නම් වැව් හාරා පස් ගොඩ දැමීමෙන් ඔබ්බට ගොස් වැව හා අනුබද්ධ පරිසරය ආරක්ෂා කිරීමේ පියවර තැබිය යුතුය.

මාතෘකා