මිනිස් ජාවාරම සහ දේශපාලන සදාචාරය

මිනිස් ජාවාරම සහ දේශපාලන සදාචාරය

 

දරුවන් දෙදෙනකු සහ මවක් පැහැර ගෙන යෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට පත් ලිඳුල පුරපති ඇතුළු සිව් දෙනා පිළිබඳ පුවත මෙරටේ දේශපාලන සංස්කෘතියේ පරිහානිය කියාපාන්නකි. පොලිසිය අධිකරණයට වාර්තා කර ඇති ආකාරයට, පැහැරගත් දරුවකු විකුණා දමා ඇති අතර මව බලහත්කාරයෙන් ලිංගික වෘත්තියෙහි යොදවා තිබේ. නගර සභා මන්ත්‍රීවරයකු, රෝහල් සේවකයකු සහ ත්‍රීරෝද රථ රියදුරෙකු පුරපතිවරයා සමඟ මේ අපරාධයට හවුල් වී තිබේ. මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති නමුත් දේශපාලන බලය යොදා පරීක්ෂණ යටපත් කර තිබී ඇති බව පෙනේ. පුරපතිවරයා හිටපු ඇමතිවරයකු වන සී.බී.රත්නායකගේ ගෝලයෙකි.

මෙවැනි සිදුවීම් හෙළිදරව් වූ පළමු අවස්ථාව මෙය නොවේ. දැරියන්ද ඇතුළුව කාන්තාවන් රැසක් අපයෝජනය කළ ප්‍රාදේශීය සභාපතිවරයකු සියවැනි ලිංගික අපරාධය සමරමින් සාදයක් පැවැත්වූයේ පසුගිය පාලන සමයේදීය. තංගල්ල ප්‍රදේශීය සභාපතිවරයා තම සහචරයන්ද සමග විදෙස් තරුණයකු මරා දමා ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක් කළේද එසමයෙහිය. නූරියෙහි වතු අධිකාරිවරයා මරාදාමූ ප්‍රාදේශීය සභාපතිවරයකු වූ 'අතකොටා'ද මෙවැනි අපරාධ ගණනාවකට චෝදනා ලැබූවෙකි. තංගල්ල ප්‍රාදේශීය සභාපතිවරයාට රජපවුලේ කුමාරවරුන්ගේ අනුහස තිබිණ. අතකොටා සබරගමු මහ ඇමතිගේ චක්ගෝලයෙකි. අපයෝජන සීයට සාදයක් පැවැත්වූ අකුරැස්සේ අශිෂ්ටයාට පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහාද ඉදිරිපත් වීමේ අවස්ථාව ලැබිණ. ගලිගමුව ප්‍රදේශයේ ප්‍රාදේශීය මන්‍ත්‍රීවරයෙක් පොලිස් ලොක්කන්ගේ සහාය ඇතිව මැදිලන්ද වලව්ව නම් නිවසක ලිංගික වහල් කඳවුරක් පවත්වාගෙන ගියේය. රවටාගෙන හෝ බලහත්කාරයෙන් ගෙනා තරුණියන් ලිංගික වෘත්තියෙහි යොදවා තිබිණ. මේ වධ කඳවුරෙන් පැනගත් තරුණියක් මාධ්‍ය මඟින් වහල් කඳවුර ගැන රටට හෙළි කළාය. පොලිස් පරීක්ෂණ ආරම්භ විය. ඒවා මග නතර විය. ලිංගික බලහත්කාරකම් කළ පොලිස් ලොක්කෝ සුව සේ සිටිති. ප්‍රාදේශීය මන්ත්‍රීවරයා පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ප්‍රාදේශීය සභාපති බවට පත් විය. පරීක්ෂණවලට සිදු වූ දෙයක් නැත. පරීක්ෂණ වාර්තාද අස්ථානගතව ඇත.

දේශපාලන බලය ඉදිරියේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අකර්මන්‍ය වීම මේ සිදුවීම්වල ස්වභාවයයි.

පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය වැඩි කිරීමේ අරමුණෙන් මීට කලකට පෙර නවකයන්ට අවස්ථාව ලබා දුනි. මොවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් අයථා අයුරින් පොදු දේපළ කොල්ලකෑමෙන් ධනවත් වූවන් බව පෙනේ. මේවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීය. ධන බලය, සමාජ බලය හා නීතියේ ආරක්ෂාව ඇතිව ලිංගික අපරාධවලට පෙළඹුණු උදවියට යහතින් ජීවත් වීමේ හැකියාව ලැබිණ. ඉහළ පුටු පහළ පුටු ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක විය.

මේ තත්ත්වය තරමක් වෙනස් වූයේ යහපාලන රජය යටතේය. අපරාධකරුවන්ට එරෙහිව කෙරෙන පරීක්ෂණ වැළැක්වීමට දේශපාලන හස්තය දිගු වීම අවම විය. එහි ප්‍රතිපල ලෙස ඇතැම් අපරාධ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙයි. නීතිය ඉදිරියේ කවුරුත් එක සමානය. එහෙත් සමහර පළාත් පාලන නියෝජිතයන් හැසිරෙන්නේ ප්‍රාදේශීය රජවරුන් මෙනි. රාජ ඌෂ්ණය බැස ඇති නිසා තමන් ජීවත් වන්නේ කෙබඳු පාලනයක් යටතේ දැයි සිහි එලවා ගැනීමේ අවස්ථාව දැන් ඔවුන්ට ලැබී ඇත.

තමන් සිතන තැනකින් කැමති තරුණියක් හෝ දැරියක් අපයෝජනය සඳහා රැගෙන යා හැකි යැයි සිතීම "රාජකාරි හිරය" සමයේවත් නොපැවති පන්නයේ වැඩවසම් චින්තනයකි. මෙරට ඇතැම් මහජන නියෝජිතයන්ට මහජනයා පෙනෙන්නේ ප්‍රවේණි දාසයන් ලෙසය. මෙවැනි අපරාධ පසුබිමේ ඇති සමාජ චින්තනය එයයි. එහෙයින් මොළ ශුද්ධයක [brain wash] අවශ්‍යතාව කැපී පෙනේ!-

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?