වචනයට සීමාවූ වටිනාකම

වචනයට සීමාවූ වටිනාකම

මෙරට පොදු ප්‍රවාහන ක්‌ෂේත්‍රයේ ප්‍රධානම අංශ දෙක වන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලය සහ පෞද්ගලික බස්‌ රථ සේවාවයි. ඊට අමතරව දුම්රිය සේවාව තිබේ. ප්‍රවාහන අමාත්‍යංශය ස්වකීය ප්‍රමුඛ, මුඛ්‍ය පරමාර්ථය හා තේමාව කරගනු ලබන්නේ ආරක්‌ෂාකාරී, කාර්යක්‌ෂම ප්‍රවාහන සේවාවක්‌ සැපැයීම සහ නියාමන රාමු ස්‌ථාපිත කිරීම බවයි. පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගම් සඳහන් කරන පරිදි ඔවුන්ගේ එකම අභිප්‍රාය වන්නේ ජනතාවට හොඳ සේවාවක්‌ සැපයීමයි.

එහෙත් අපගේ සහෝදර 'සිළුමිණ' ප්‍රධාන පුවතින් හෙළිදරව් කෙරුණේ, 'බස් රථ සියයට 99ක්ම ධාවනයට නුසුදුසු' බවයි. එයින් ගම්‍ය වන්නේ අදාළ පොදු ප්‍රවාහන සේවා ස්වකීය මුඛ්‍ය පරමාර්ථයන්ට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත්ව ඇති බවයි. 1907 වර්ෂයේ දිනක කොළඹ සිට හලාවත දක්වා මගීන් සඳහා ගමන් පහසුව සලසමින් පෞද්ගලික බස් රථයක් ධාවනය වී තිබේ. එය මෙරට පොදු ප්‍රවාහනය බස් රථ සේවාවට එක් වූ පළමු බස් රථය ලෙස ඉතිහාසගතය. 1948 නිදහස ලබන වි‍ට ප්‍රධාන පෞද්ගලික බස් සමාගම් දෙක තුනක් මගී ප්‍රවාහනය සම්බන්ධව ඒකාධිකාරයක් පවත්වාගෙන යමින් ජනතාව පීඩාවට පත් කළේය. 1956 බල පෙරළියෙන් රටේ අගමැති වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ආරම්භ කළ ප්‍රගතිශීලී ව්‍යාපාරයෙන් බස් ජනසතු කරමින් ශ්‍රී ලංගමය බිහි කළේ ය.1977 න් පසු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදීමත් සමඟ පෞද්ගලික බස් සේවා යළි රටේ බිහි විය.

කෙසේ වෙතත් මේ සියල්ලෙන් ජනතාවට සුවපහසු ප්‍රවාහන සේවයක් සැලසීම අරමුණ වුව ද තරඟකාරීත්වය යොදාගෙන තිබෙන්නේ වැරදි ලෙසටය. පහසුකම් කෙසේ වෙතත් අවම පහසුකම්වත් නොවන තැනට පත් වූ ප්‍රවාහන සේවයක් දකින්නට ලැබීම අවාසනාවකි.

පෞද්ගලික බස්‌රථ ඇතුළතදී මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය වන අවස්ථා කොතෙකුත් දැකිය හැකිය. අවශ්‍ය ඕනෑම මොහොතක මිල ඉහළ දැමීම වෙනුවෙන් වැඩ වර්ජනය කිරීමට වුවද සූදානම් ඔවුහූ, ටිකට් පතට අදාළ ඉතිරි රුපියල හෝ දෙක ඉල්ලන මඟියාට සිය නුරුස්නාව යොමු කරති. ටිකට්‌ පතක්‌ ලබාදීමේදී මගියාගේ ගමනාරම්භය, අවසානය, දිනය, වේලාව, ගාස්‌තුව, බස්‌රථයේ අංකය නිවැරදිව සඳහන් විය යුතුය. එහෙත් ඒවා ව්‍යාජ තොරතුරු වලින් පිරී පවතී. බස්‌රථ වල සිටගෙන යා හැකි වන්නේ 15%කටය. එහෙත් පොල් පටවාගත් තරමට මඟීන් නංවාගත් බස් රථ අප්‍රමාණව දැකිය හැකි අතර, හිඳගැනීමට තිබෙන අසුන් අතර පවත්නා පරතරය දෙපා තබා ගැනීමටවත් ප්‍රමාණවත් නැත. රියැදුරු සහ කොන්දොස්‌තර වෙනුවෙන් නිල ඇඳුමක් හඳුන්වා දී ඇති නමුත් ඒවා තිබෙනුයේ රියදුරු අසුනේ හෝ මල්ලකය. බස්‌ රථ මගී ප්‍රවාහනය කරන අතරතුර ඉන්ධන පිරවීම නොකළ යුතු නමුත්, මඟීන්ගේ ආරක්ෂාව තුට්ටුවකට මායිම් නොකර ඉන්ධන පුරවන අවස්ථා කොතෙකුත් දැකිය හැකිය.

බස්‌ රථයේ නිදහසේ ගමන් කිරීමට අයිතියක්‌ මගියාට පැවතිය ද එය රියදුරුගේ හෝ කොන්දොස්තරවරයාගේ රුචිකත්වය මත තීරණය කෙරේ. බොහෝ විට කන් බිහිරිකරවන වේග රිද්ම ඝෝෂාවකින් පළාතම ගිගුම් දෙන පරිදි ධාවනය වන බස් රථ බොහෝ වෙති. 'මගියා යනු බස්‌රථයේ වටිනාම පුද්ගලයා' කියා තේමාව හැදුවාට ක්‍රියාවෙන් එය සහමුලින්ම බොරුවක් බවට පත්කොට තිබේ. බස්‌ රථය ගමනාරම්භ වන හා අවසාන වන කාලසටහන් නිවැරදි ව මගීන්ට පෙනෙන සේ සඳහන් කළ යුතු වුව ද එය බොහෝ විට සිදුවන්නේ නැත. සාමාන්‍යයෙන්, ධාවනයේදී බස් රථවල දොරවල් වසා තැබිය යුතු වුව ද එය සිදුවන්නේ නැත. පසුගිය වකවානුවේ ගර්භනී මාතාවක් දොරෙන් එළියට විසි වී සිදුවුණු අනතුර මෙහි ප්‍රතිඵලයක් නොවන්නේ ද? බොහෝ බස් රථවල වීදුරු කවුලු විවර කරන්නට නොහැකි ලෙස සකසා තිබේ. සුඛෝපභෝභී සහ අර්ධ සුඛෝපභෝගී බස් රථ අද වනවිට සහමුලින්ම 'මිථ්‍යාවක්' බවට පත්ව තිබේ.

සුඛෝපභෝගී බස්‌රථ සේවාවේ ගුණාත්මක භාවය තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැත. ඒවායේ වායු සමනය කිරීම තීන්දු වන්නේ රියදුරුගේ උණුසුම අනුවය. මෙලෙස ගත් කල මෙරට ප්‍රවාහන සේවය බෙහෙවින්ම අවාසනාවන්ත ලෙස අඩුලුහුඬුකම්වලින් පිරී පවතී. වචනයක් එහෙ මෙහෙ වන ටිකට වර්ජනවලට යන්නට පෙර ඔවුන්ට ජනතාවගේ පැත්තෙන් සිතන්නට බොහෝ කාරණා තිබේ. ඒවා කිසිවක් ඉටු නොකර 'මගියා යනු බස්‌රථයේ වටිනාම පුද්ගලයා' කියා ස්ටිකර් ඇලෙවූවාට පලක් නැත.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?