රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය  කා සඳහාද?

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය  කා සඳහාද?

අමාත්‍යාංශ මට්ටමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ඉතා වැදගත් සමීක්ෂණ වාර්තාවක් නිකුත්ව තිබේ. මැයි 28 දා ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේදී ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ පිළිබඳ සංවාදයේදී 21 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ළඟදීම ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළේය.

යෝජිත සංශෝධනය

(1) සිංහල දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය‍ භාෂා වන්නේය.

(2) ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව වන්නේය.

(3) මේවා ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නීති මඟින් විධි විධාන සැලසිය යුතුය.

ඇමතිවරයා මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් එතරම් සතුටුදායක නොවන වාර්තාවක් අභිමුව සිටිමිනි. ශ්‍රී ලංකාව බහු වාර්ගික බහු ආගමික රටකි. සිංහල සහ දෙමළ ප්‍රධාන භාෂා වේ. සෑම රටවැසියකු හට ම තම මව් භාෂාවේ කටයුතු කිරීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇත. එහෙත් එහි ඇති යම් අඩුපාඩු නිසා භාෂා අයිතීන් උල්ලංඝනය වේ. රාජ්‍ය ආයතනවලට පැමිණෙන සේවාලාභීහූ මේ නිසා විවිධ පීඩාවන්ට ලක් වෙති.

අමාත්‍යාංශ 49 සඳහා මසකට ලිපි 241600ක් පමණ ලැබේ. ඉන් 70%ක් සිංහල භාෂාවෙනි. 5%ක් දෙමළ භාෂාවෙනි. 25% ඉංග්‍රීසි භාෂාවෙනි. මේවායින් සැලකිය යුතු ප්‍රමාණයකට ඒ ඒ භාෂාවලින්ම පිළිතුරු යැවීමේ හැකියාව නොමැත්තේ භාෂා ප්‍රශ්නය නිසාය. ඇතැම් රාජ්‍ය ආයතන වල දැන්වීම් පුවරු සකස් කර ඇත්තේ තනි භාෂාවකිනි. අමාත්‍යාංශ 37 කින් පිවිසුම් කාර්යාලවල රාජ්‍යභාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මකව ඇත්තේ අමාත්‍යාංශ 11ක පමණි. මෙය කිසිසේත්ම සතුටු විය හැකි තත්ත්වයක් නොවේ. රාජ්‍ය‍ භාෂා ප්‍රතිපත්තිය ව්‍යවස්ථාපිතව පැවැතීම පමණක් ප්‍රමාණවත් නැත. එය සෑම රටවැසියකු හටම සාධාරණ අයුරින් ක්‍රියාත්මක විය යුතුය. මන්ද යත් එයින් ඇතිවන ගිනි පුපුරු ජාතිවාදී ගිනිදැල් දක්වා ව්‍යාප්ත විය හැකි බැවිනි. භාෂා ප්‍රශ්නය අඩයාළමක් කරගනිමින් දේශපාලන වාසි ගන්නා පිරිස් කවදත් සිටිති. එහෙත් භාෂා ප්‍රශ්නය විසඳීම සහජීවනය තහවුරු කිරීමේ නිසැක මඟ බව වටහා ගන්නෝ දුලබ වෙත්. එහෙයින් මනෝ ගනේෂන් ඇමතිවරයාට පැවැරී ඇත්තේ ඉතා වැදගත් විෂයයකි. ඒ විෂයයන් ක්‍රියාත්මක කිරීම සඳහා මීට වැඩි සහයක් සෙසු අමාත්‍යාංශවලින් ලැබිය යුතුය.

භාෂාව යනු අතිශය සංවේදී කාරණයක් බව ශ්‍රී ලංකාව තුළ ඔප්පු වී ඇත්තේ වරකදී දෙකකදී නොවේ. එය නිර්මාණය කළ තුවාල මෙරට සමාජ දේහය දශක ගණනාවක් ආපස්සට රැගෙන යාමට තරම් ප්‍රබල විය. එබැවින් මීට අදාළ කාරණා පිළිබඳව සැහැල්ලුවෙන් නොව බුද්ධිමත්ව ඉදිරිගාමි දැක්මක් සහිතව අවධානය යොමු කෙරුම හැමතින්ම වැදගත්ය.

මෙරට සංස්කෘතිය තුළ ජාතීත්ව සංස්කල්පය අනුව ප්‍රජාව බෙදී ඇත්තේ භාෂාව යන සංවේදී සන්නිවේදන මාධ්‍ය ඔස්සේය. භාෂාවලට ලබාදිය යුතු ගරුත්වය සහ පිළිගැනීම, ඒ ආකාරයෙන් නොලැබී යාමෙන් සිදුවන්නේ භාෂාව පදනම් කරගෙන ජාතීත්ව හැඟීම් ඔස්සේ දේශපාලනික බලය ලබාගන්නට උත්සාහ කරන පිරිසට සහාය දීමක්ය. භාෂාව මත පදනම්ව ප්‍රජාව බෙදා වෙන්කර ජාතිකත්ව සංකල්පය මරු වසඟයට යැවීමේ අවස්ථාවකි. මේ එවැනි අවස්ථාවල් ලබාදිය යුතු රටක් නොවේ. එකම ජාතියක් ලෙස අන්‍යෝන්‍ය වෙනස්කම් වලට ගරු කළ හැකි මනුශ්‍යයන් පිරිසක් බිහිවීම යුගයේ අවශ්‍යතාව බවට පත් විය යුතු රටකි.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?