පාසැලෙන් පටන් ගනිමු

පාසැලෙන් පටන් ගනිමු

අල්ලස් හා දූෂණය ලෝකය පුරාම ව්‍යාප්ත අතිශය බියකරු පිළිලයකි. එකී පිළිලය එතරම්ම වියරු ලෙස ලෝකය වෙළාගෙන තිබුණද ඊට එරෙහිව සටන් වදින්නෝද ලොව පුරා සිටිත්. මීට වසර හත අටක සිට අල්ලස්‌ හෝ දූෂණ විරෝධී හඬ ලෝකය පුරාම රැල්ලක්‌ සේ විසිරී ගියේය. එහි නූතන ජනප්‍රියතම උදාහරණය ඉන්දියාවේ 'අන්නා හසාරේය'.

කෙසඟ සිරුරැති හසාරේ 2011 අවසාන බාගය පුරා ඉන්දියාවේ සියලු මාධ්‍යවල ශීර්ෂ පාඨ අල්ලා ගත්තේ 'අල්ලසට දූෂණයට' එරෙහිව ඔහු ගෙන ගිය වැඩපිළිවෙළ නිසාය.

සමස්ත ඉන්දියාවේම විශාල විප්ලවයක් කිරීමට හසාරේගේ දූෂණ විරෝධය සමත් විය.

ඉන්දියාවේ දූෂණයට එරෙහිව රට පුරා ජනතා විරෝධයකට මග පාදමින් ඔහු පැවැත්වූ උපවාසය ඔහු ජාතික වීරයකු බවට පත් කළ අතර තත්කාලීන මහත්මා ගාන්ධි කෙනෙකු ලෙස ඔහු විරුධාවලී ලැබීමටද හේතු විය.

එහි ප්‍රතිඵලය වූයේ, අරවින්ද් කඡ්රිවාල්ගේ අවාමි ලීගය, දිල්ලියේ බලය අල්ලා ගැනීමය. විරැකියාව, කුසගින්න, දරිද්‍රතාව උග්‍ර තත්ත්වයක් තුළ වුවද දිල්ලි ජනයා දූෂණයට එරෙහිව ස්වකීය ඡන්දය ප්‍රකාශ කළේ එලෙසය.

මේ තත්ත්වය ඉන්දියාවෙන් ඔබ්බට ශ්‍රීලංකාව වෙත ගලා එන්නේ, ඉකුත් ජනාධිපතිවරණයෙනි. එය සහමුලින්ම දූෂණය, අල්ලස පිටු දැකීමත් යහපාලනය බිහි කිරීමත් උදෙසා හැට දෙලක්ෂයක ජනතාවක් තීන්දු කළ මැතිවරණයකි.

සාමාන්‍යයෙන් ලෝකය තුළ ප්‍රශස්ත ක්‍රමවේදය වන්නේ සොරකමට පසු දඬුවම් කිරීමට වඩා සොරකම් නොකරන තැනට සමාජය පරිවර්තනය කිරීමය. එය සමාජ දේහයේ උඩ සිට පහළටම සිදුවිය යුතු පරිවර්තනයකි.

ආණ්ඩු පෙරලියත් සමඟ දූෂණ හා අල්ලස් පිළිබඳව පැමිණිලි වලින් අල්ලස් හා දූෂණ කොමිසම පිරී ගියේය.

ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කොට, ස්වාධීන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, අධිකරණය ඇතුළු ආයතන රට තුළ තහවුරු කිරීමට හැකිවීම මෙරට පොදු ජනයා ලද සුවිශාල ජයග්‍රහණයකි. දුරකතන ඇමතුම් මගින් විනිශ්චයකාරවරුන් දිය යුතු නඩු තීන්දුව දේශපාලනඥයින් විසින් දැනුම් දුන් යුගය නිමා කළේ 'යහපාලන' ආණ්ඩුව විසිනි.

ශ්‍රී ලංකාවේ අල්ලස් කොමිසම පිහිටුවා වසර 25කට ආසන්න කාලයක් ගතව තිබුණද මෙරට අල්ලස හෝ දූෂණය මැඩීමට ප්‍රමාණවත් බලයක් එම ආයතනයට තිබුණේ නැත. 19 වන සංශෝධනය මගින් පූර්ණ ස්වාධීනත්වයෙන් යුත් අල්ලස් හෝ දූෂණ කොමිසමක් ස්ථාපනය කරමින් එකී බලය අල්ලස් කොමිසමට ලබා දුන්නේද මේ රජය විසිනි.

එවන් ප්‍රශස්ත කාරණා සුළුකොට තැකිය නොහැකිය.

රඹුටන් විකුණා එදා වේල සරිකරගත් මිනිසාගෙන් පවා අල්ලස් හෝ කප්පම් ගත් දේශපාලන අධිකාරියක් රජ කළ රටක ක්ෂණික විසඳුම් ලබාදීම උගහට කරුණක් බව සැබවි. එහෙත් අල්ලස හා දූෂණය සමාජයක් හා රටක් විනාශ කරන අන්දම රට වැසියාට අවබෝධ කරලීම අත්‍යවශ්‍යය.

එසේ නොවන කල සිදුවන්නේ අල්ලස් පිට අල්ලස් ගන්නා, දූෂණ පිට දූෂණ සිදුකරන රටක් බිහි වීමය.

අල්ලස හා දූෂණය මැඩලීම ඉදිරියේදී විෂයක් වශයෙන් පාසල් සහ විශ්වවිද්‍යාල විෂය මාලාවලට එක් කිරීමට අධ්‍යාපන විශේෂඥයන් සමඟ සාකච්ඡා කෙරෙමින් තිබෙන බවට වාර්තා වන්නේ මේ අතරය.

කළ යුතු බොහෝ දෑ පවතී. ඒ අතරේ අල්ලස දූෂණය පිළිබඳව 'ලජ්ජා බය' ඇති සමාජයක් හදන්නට පියවර ගන්නා අයෙකුට මේ තීරණය අතිශය වැදගත්ය.

බිමට සමතලා වූ ජපානය අහස උසට ගොඩනැඟුනණේ අධ්‍යාපනය කළ විප්ලවයෙනි. එය ආදර්ශයට ගන්නේ නම් ලංකාවට වරදින්නට හේතුවක් නැත.

මාතෘකා