චින්තනය ඉතිරි කළ වින්දනය | ඇස පාදන රැස


චින්තනය ඉතිරි කළ වින්දනය

චින්තනය ඉතිරි කළ වින්දනය

පේරාදෙණිය සරසවිය දෙමසකට වසා දමා තිබෙන බව පැවැසේ. ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසකට සියයට 80 පැමිණිම සනාථ කිරිමට නොහැකි වීම මත විභාගයට ඉදිරිපත් වීමට ඉඩ ලබා නොදීමට පාලනාධිකාරිය තිරණය කිරීමත්,ඊට විරෝධය පා සිසුන් විසින් කරනු ලබන උද්ඝෝෂණත් මෙම තීන්දුවට හේතු වී තිබෙන බව වාර්තා වෙයි.සරසවි පාලනාධිකාරිය අදාළ තීන්දුව ගත්තේ සිසුන් විසින් අදාළ සියයට අසූව තීරණය නොසලකා හැරීම නිසා නම් එහි වරද සිසුන්ගේ ය.

එය එසේ නොවේ නම් කරුණු විමසා බැලීම වටී.

කෙසේ වෙතත්,දෙමසක් සරසවිය වසා තබනවා යනු වසර ගානක කටයුතු ආපසු හැරවීම බව සිහි තබා ගැනීම මැනවි.

විශ්වවිද්‍යාල තුළ කවදත් දේශපාලනය ක්‍රියාත්මක විණි.එහෙත් විවිධ කාල සමයන්හි දරාගත නොහැකි තරමේ දේශපාලන බලපෑම් විශ්වවිද්‍යාල තුළට කඩා වැදුණු අවස්ථා තිබේ.

70 දශකයේ දී පේරාදෙණිය සරසවියේ වීරසූරිය ශිෂ්‍යයා ඝාතනය වීමෙන් පසු ව වරින්වර විශ්වවිද්‍යාලවල ඇති වූ තත්ත්වයන් අතිශය විවාදාපන්න විය. ඉන් මෙපිට අරගලවල දී සරසවි සිසුන් රැසක් ඝාතනයට ලක් වූ අතීතයක් අපට දැකගත හැකි ය. 1987-89 භීෂණ සමයේ දී විශ්වවිද්‍යාල ජවිපෙ කඳවුරු බවට පත් ව තිබුණි.

ඇතැමුන් පවසන්නේ එවක අධ්‍යයන කටයුතු වෙනුවට මහන මැෂින් ගෙනැවිත් රතු කොඩි මැසූ කාල සමයක් බවය. පරාජිත දේශපාලන පක්ෂ විසින් මෙවන් උද්ඝෝෂණ ඔස්සේ බළලුන් ලවා කොස් ඇට බෑවීමේ කාර්යයක සරසවි සිසුන් යොදාගනු ලබන අවස්ථාද ඕනෑතරම් ය.

ඉකුත් රාජපක්ෂ සමයේ විශ්වවිද්‍යාල භාර අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සහමුලින්ම 'වියරු ආඥාදායකයෙකුගේ'ස්වරූපය ගෙන තිබිණි.සිසුන්ගේ ඔළු පැලීම,සිසුන් දහස් ගණනකගේ හෝ ශිෂ්‍යභාවය අහෝසි කොට 'තීන්දු'ක්‍රියාත්මක කිරීමට යාම,‘පුළුවන් හැටියට ඉගෙන ගනිල්ලා, බැරිනම් පලයල්ලා' න්‍යාය සරසවි පද්ධතියට ගෙන ඒම,සරසවි සිසුන් ගස් බැඳ හෝ පනත් ක්‍රියාත්මක කරන බවට වහසි බස් දෙඩීම එවක අමාත්‍යවරයාගේ 'රටාව'විය.

උසස් පෙළ ළමුන්ගේ ප්‍රතිඵල අසාමාන්‍ය ලෙස ප්‍රමාද කර අවසානයේ ඔවුන්ට දවල් තරු පෙන්වන ප්‍රතිඵලයක් ලබාදුන්නේ එවක ය.ආණ්ඩුව කළ වරදට වන්දි ලෙස නැවත සමීක‍්ෂණය වෙනුවෙන් අහිංසක දරුවන්ගෙන් කෝටි 1 1/2කට වැඩි මුදලක් අයකර 'කරල'පැහෙන තැනට වැඩ සිද්ධ කළේ ඉකුත් ආණ්ඩුව ය.

විභාග ප්‍රතිඵල පිළිබඳ විශ්වාසය බිඳවැටීම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය, සිසුන් දහස් ගණනකගේ ශිෂ්‍යභාවය අහෝසි කර සිරගත කරන බවට තර්ජනය කිරීම, අධ්‍යාපනයේ ගූණාත්මක බව බිඳ වැටීම යනාදී බොහෝ ප්‍රශ්න දායාද කළේ ඒ ආණ්ඩුව ය.එහෙත් තෝරාගත් 'විශේෂ'අයවලුන්ට 'විශේෂ'කාමරවලට වී නීති විභාග ලියන්නට දුන්නේ ද ඒ ආණ්ඩුවමය.

රාජපක්ෂ ජනපති සමයේ මෙරට සරසවි ඇදුරන් විශාල සටනක් ගෙන ගියේ අධ්‍යාපනයට වෙන් කරනු ලබන ප්‍රතිපාදන 6%ක් කරන ලෙස ඉල්ලමිනි. එහෙත් අතිශය විසුළුසහගත ස්වරූපයෙන් ඒ ආණ්ඩුව විසින් එය නොතකාහරිනු ලැබිණි.

ලු‍තිනන් විදුහල්පතිවරුන් සහ සරසවි සිසුන්ට යුද පුහුණු ලබා දෙමින් රටේ අධ්‍යාපන ක්‍රමයම දේශපාලනිකව මිලිටරිකරණය කිරීම සිදු කළේ එවකය.සෑම සරසවි භූමියක් තුළම පොලිස් ඒකකයක් පිහිටුවීමට තීන්දු කරන බවට එවක විෂය භාර අමාත්‍යවරයා පුනපුනා කීය.

රටක අධ්‍යාපනය තරම් 'සංවේදී'වෙනත් කිසිවක් නැත.තිබෙනවා නම් එය අධ්‍යාපනයට වඩා බොහෝ දුරින් ය. ඒ තරමටම අධ්‍යාපනය සුවිශේෂ වැදගත්කමක් ගනී. එහෙව් අධ්‍යාපනය සමඟ 'සෙල්ලම්'කිරීම සෙල්ලම් වැඩක් නොවේ. ඒ සෙල්ලම ගිය ආණ්ඩුව හොඳටම නැටුවේය. උන්මාදනීයත්වය මොනතරම් සාහසික ලෙස ජන විඥානය විනාශ කරනවාද යන්න හොඳින්ම ගම්‍ය වන්නේ ඒ හැසිරීම් නිරීක්ෂණය කරන විට ය. සමහර සංවේදී ගායිකාවන්, පරාජිත හිටපු ජනපතිගෙන් ඉල්ලුවේ 'ඇයි මරලා හරි ගත්තේ නැත්තේ?'කියලා ය. එහෙව් උමතු සමාජයක් දශක දෙකක ශේෂ පත්‍රය ලෙස තිබේ.

අන්තිමට ව්‍යාකූල වූ අධ්‍යාපන ක්‍රියාවලියකුත්,'මන්ද මානසික සමාජ රටාවකුත් බිහි වුණි.'බුදුන් එපා මහින්ද ඕන'වර්ගයේ චින්තන රටාවක් සමාජගත වූයේ 'මහින්ද චින්තන'අධ්‍යාපන රටාවට පිං සිද්ධ වන්නටය.

මාතෘකා