පොලිසිය, අධිකරණය සහ බට්ටිලා | ඇස පාදන රැස


පොලිසිය, අධිකරණය සහ බට්ටිලා

පොලිසිය, අධිකරණය සහ බට්ටිලා

කලකට පසුව, යුක්තිය, සාධාරණය හා නීතියේ රැකවරණය පිළිබඳව මහජනයා තුළ බලවත් විශ්වාසයක් ඇති කරවන ආකාරයේ තීන්දුවක්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. බලධාරී පාර්ශ්වවලින් මෙන්ම පොදු ජන සමාජයෙන්ද නිරන්තර ප්‍රතික්ෂේප වීමට ලක්වන සමාජ තීරුවක් නියෝජනය කරන පුද්ගලයකුට වුවද නීතියේ රැකවරණය හිමි බව මෙම තීන්දුවෙන් තහවුරු කෙරෙන ප්‍රබල පණිවුඩයයි.

2014 සැප්තැම්බර් 6 වැනිදා රත්නපුර නගරයේදී දෙනෝදාහක් දන ඉදිරිපිට නින්දිත අයුරින් පොලිස් සැරයන්වරයකුගේ ප්‍රහාරයට ලක් වූ කාන්තාව බට්ටී යනුවෙන් ප්‍රකටය. උප්පැන්නයේ ඇගේ නම සඳහන් වන්නේ වීරසිංහ ආරච්චිලාගේ කාන්තිලතා යනුවෙනි.

බට්ටී ලිංගික සේවා සපයන්නියකි. පොලිස් සැරයන්වරයා ඇයට පහර දී ඇත්තේ නොමිලේ සේවාව ලබා ගැනීමට ඇය විරුද්ධ වීම නිසා බව ප්‍රකට විය. මේ ප්‍රහාරය අන්තර්ජාලයෙන් ප්‍රසිද්ධ විය. මේ නිසා ඇය ගැන සමාජ කතිකාවක් නිර්මාණය විය. ප්‍රහාරයට එරෙහිව ඇයට නීතිමය සහය දෙන්නෝද ඉදිරිපත් වූහ.

එහෙත් රත්නපුර නගරවාසීන්ගෙන් මෙන්ම බාහිර සමාජයෙන්ද පොලිස් සැරයන්වරයා වෙනුවෙන් ප්‍රසිද්ධියේ හඬ නගන්නෝ දුලබ නොවූහ. අවසන ඇය තමාට වූ අසාධාරණය සම්බන්ධයෙන් සැරයන්වරයාගෙන් රු. කෝටි 5ක් වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.

2018 ජූලි 25 දා එහි තීන්දුව ලැබිණ. ඒ අනුව පොලිස් සැරයන්වරයා වරදකරු වී ඇත. ඔහු රු. 55,000ක මුදලක් බට්ටීට වන්දි ලෙස ගෙවිය යුතුය.

මේ වනාහී ඉතා වැදගත් නඩු තීන්දුවකි. යති දෘෂ්ඨියෙන් සමාජය දෙස බලන ප්‍රභූවරුන්ට ගැසූ කනේ පහරකි. මූලික අයිතිවාසිකම් යනු බටහිර උගුල් යැයි වේදිකා දෙවනත් කරන ඊනියා දේශප්‍රේමීන්ට පෙවූ සැර කසායකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවද ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන් අනුවද කෙනෙකුගේ රැකියාව හෝ ස්ත්‍රී පුරුෂභාවය හෝ ජාතිය හෝ තරාතිරම අනුව වෙනස් කොට නොසැලකිය යුතුය. නීතිය ඉදිරියේ සියලු රටවැසියන් එක සමානය.

මෙහිදී සිදුව ඇත්තේ කිසියම් චෝදනාවකට යම් පුද්ගලයකු නීතියේ විධිවිධාන පරිදි අත්අඩංගුවට ගැනීමක්ද නොවේ. කාන්තාවක් අත්ඩංගුවට ගැනීම සඳහා පුරුෂ සැරයන්වරයකු තනිව යෑමද නීතියට පටහැනිය. මෙහිදී සිදුව ඇත්තේ ඒ කිසිවක් නොව කෝන්තරයක් පිරිමසා ගැනීම සඳහා කාන්තාවගෙන් පලි ගැනීමකි. සැරයන්වරයා කාන්තාවට පහර දුන් ආකාරය පිළිකුල් සහගතය. හාස්‍යජනක කරුණ වන්නේ රත්නපුර නගර මධ්‍යයේ සෑහෙන පිරිසක් සැරයන්වරයා චෝදනාවලින් නිදහස් කරන්නැයි උද්ඝෝෂණවල නිරත වීමය.

මිට කලකට පෙර මීගමුව ප්‍රදේශයේ ලැගුම්හලකට කඩා වැදුණු පොලිසිය එහි සිටි යුවළක් අත්අඩංගුවට ගත්තේය. එම යුවළ තමන්ට සිදු වූ ගැහැට සහ නින්දාව සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. කාන්තාව බාල වයකාරියක නොවන හෙයින්ද දෙදෙනාගේ කැමැත්ත මත ලැගුම්හලට පැමිණ ඇති හෙයින්ද එසේ පැමිණීම ඔවුන්ගේ අයිතියක් බව පිළිගත් අධිකරණය, නීති විරෝධී ලැගුම්හලක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ලැගුම්හල් හිමියාට එල්ල විය යුතු චෝදනාව සේවාලාභී වැඩිහිටි යුවළට අදාළ නොවන බව ප්‍රකාශ කළේය. එමෙන්ම අයිතිවාසිකම් කඩ වීම සම්බන්ධයෙන් එම යුවළට වන්දි ගෙවීම සඳහා පොලිසියට නියෝග කළේය.

ලැගුම් හල්, සම්බාහන මධ්‍යස්ථාන හා 'ස්පා' ආයතන වැටලීමට යන ඇතැම් පොලිස් නිලධාරීන් තමන්ට නොමිලේ සේවා සපයන්නේ නම් වැටලීම් නොකරන බවද දන්නෝ දනිති. නීතිය කෙළින් කරන්නේ තමන්ට අවාසි වූ විටය. රත්නපුරේ බට්ටී මුහුණ දුන්නේද එවැනි අසාධාරණයක දිගුවක් ලෙස එල්ල වූ තිරිසන් ප්‍රහාරයකටය.

ඊට එරෙහිව යුක්තිය පතා කළ අරගලයෙන් ඇය ජය ලද්දාය. අධිකරණයෙන් ඉඳහිට හෝ සාධාරණය ඉටු වන අවස්ථා අතරින් එකක් හැටියට මෙය ඉතිහාස ගත වනු නිසැකය.

මාතෘකා