ජනමාධ්‍යයේ පාදඩකරණය

ජනමාධ්‍යයේ පාදඩකරණය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළුගඟ දියවර මංල්‍යයේදී කළ කතාව කතිකාවත් කිහිපයක් ඇති වීම කෙරෙහි බලපා තිබේ. ඉන් ප්‍රධාන වන්නේ වත්මන් ජනමාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් නිකුත් කළ සංඥාවයි.

පිරිහුණු දේශපාලන සංස්කෘතියක් නිවැරදි දිශානතියකට තල්ලු කිරීමේදී ජනමාධ්‍යයට කළ හැකි කාර්යය සුළුපටු එකක් නොවේ. සාමාන්‍යයෙන් මෙරට දේශපාලන ඉතිහාසයෙහි සිදු වී ඇත්තේ පාලක මතවාදය පාලිත මතවාදය බවට පත් කිරීම සඳහා ජනමාධ්‍ය‍ කටයුතු කිරීමය. ජනමාධ්‍ය ආයතන සීමිත වූ එකල රාජ්‍ය මාධ්‍ය අභිබවා වෙන මතයක් ඉස්මතු වීමේ ඉඩක් නොවීය. එහෙයින් පාලකයන්ගේ මතවාදය අධිපති මතවාදය බවට පත් විය.

වත්මනෙහි ජනමාධ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වේ. රාජ්‍ය මාධ්‍ය යනු සීමාසහිත වපසරියකි. බොහෝ ජනමාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය අනුව බැලු කල පෙනෙන්නේ මේවායෙහි පිටුපස, පරාජිත රෙජීමය හදා වඩා පෝෂණය කළ කළු සල්ලි දේශපාලනය ක්‍රියාත්මක වන බවය. පරාජිත දේශපාලන බලවේග ඊනියා දේශප්‍රේමයේ සළු දවටාගෙන බලයෙහි රැඳී සිටියේ මෙකී 'ජඩමාධ්‍යයේ' අනුහසිනි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුවද මෙකී මාධ්‍යවල කාර්යභාරය ඇණහිටියේ නැත. මේ නිසා ඉතිහාසයේ පළමු වැනි වරට පාලකයන්ගේ මතවාදය වෙනුවට පරාජිතයන්ගේ මතවාදය අධිපති මතවාදය බවට පත් වී තිබේ.

මෙහි ප්‍රතිපලය වී ඇත්තේ අපරාධවලට සම්බන්ධ හමුදා නිලධාරීන් පිළිබඳ පරීක්ෂණ කෙරෙන විට රණවිරු දඩයමක් ගැන භීතියක් මැවීමය. අපරාධවලට සම්බන්ධ දේශපාලකයන් ගැන පරීක්ෂණ කෙරෙන විට බටහිර වුවමනාව මත දේශප්‍රේමීන් අත්අඩංගුවට ගන්නා බව කීමය. මෙබඳු භීතිකා සමාජගත කිරීම සඳහා ඇතැම් ජාතික පුවත්පත්වල ඊනියා මාධ්‍යවේදීන්ට වරදාන දීමේ පිළිවෙතක්ද ක්‍රියාත්මක වේ.

උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කිරීමට යන්නේ යැයි චෝදනා කරමින් පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති කිරීමට උත්සාහ කළ ඇතැම් මාධ්‍යකරුවන් හමුදාපතිවරයාට පවා අභියෝග කරනු නිරීක්ෂණය කළ හැකි විය.

උතුර හෝ දකුණ වේවා යුද්ධයක් පවතින අවස්ථාවක සක්‍රිය කරන හමුදා කඳවුරු, පසුව බැරැක්ක ගත කිරීම ලොව පිළිගත් සම්ප්‍රදායයි.

ආයුද සන්නද්ධ සෙබළුන් ජනජීවිතයට කාවැද්දීම අනුචිතය. මෙහිදී බැරැක්ක ගතකිරීමක්ද සිදු වී නැත. ඒ බවට හමුදාවද සාක්ෂි දරයි. යුද්ධයට මුහුණ දුන්නේ හමුදාව මිස කොළඹ සිට දුරකථනයෙන් යුද පුවත් වාර්තා කළ ඊනියා යුද විශ්ලේෂකයන් නොවන බව කිව යුතුය.

පසුගියදා මොවුන්ට පිළිතුරු දුන් අගමැතිවරයා යාපනය කොළඹ යටත් විජිතයක් නොවන බව මාධ්‍යයට මතක් කර දුන්නේය.

පාලන බලය තිබූ සමයෙහි කළ අපරාධවලට අත්අඩංගුවට පත්වේ යැයි බියෙන් කට උත්තර දෙන ඇතැමුන් මුදල් හා සමාජ බලයේ මහිමයෙන් නීතිඥ සහාය ලැබ අත්අඩංගුවට ගැනීමෙන් වැළකීමේ සතුට භුක්ති විඳින සමයකි මේ.

මිනීමැරුම් චෝදනා ඇති ඇතැමුන් ජනමාධ්‍යවේදීන්ට පවා මුදල් වියදම් කර අධිකරණයට පහර දෙන අවධියකි මේ. විශාල මාධ්‍ය අවකාශයක් ඔස්සේ යුක්තිය සහ සත්‍යයට ඇති මාවත් අවහිර කරන යුගයක ගවේෂණාත්මක මාධ්‍යවේදියාගේ භූමිකාව පටු වෙමින් පවතී. දේශපාලන අවස්ථාවාදීන් සහ මංපහරන්නන් විසින් කොල්ලකමින් පවතිනු ලබන්නේ එම අනගි අවකාශයයි.

මාතෘකා