වර්ජන සහ ජීවිත

වර්ජන සහ ජීවිත

තීරණාත්මක විභාග දෙකක් 'කට'උඩට පැමිණ තිබේ. එකක් ශිෂ්‍යත්ව විභාගයයි. අනෙක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයයි.ඒ විභාග දෙක 'හුස්ම තරමට කිට්ටුව' තිබියදී ජෝශප් ස්ටාලින් ප්‍රමුඛ පිරිසක් 'වැඩ වැරුමකට'අර අඳිමින් සිටී.

ස්ටාලින්ලා මේ වැඩ වැරුමට යාවිද නොයාවිද කියන්නට දන්නේ නැත. එහෙත් වැඩ වැරුමකට යන බවට සන්කොට තිබේ. අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්, ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන්,විදුහල්පති සේවයේ හා ගුරු සේවයේ නිලධාරීන් මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බව ද පැවැසේ.

දින වකවානු ලබා දෙමින්, අදාළ වර්ජන නිසා පාසැල් වසා තැබෙන බවට ප්‍රධාන පුවත් පළ කිරීම ඉකුත් දිනවල ඇතැම් මාධ්‍ය විසින් සිදුකරනු ලැබීය.කෙසේ වෙතත් මවාපාන කාරණා සත්‍යයෙන් බොහෝ දුර බව සටහන් කළ යුතුමය.

වැඩ වර්ජන හේතුවෙන් රටකට අහිමිවන මිනිස් දින ප්‍රමාණය අති විශාලය. 2016 වසරේ පමණක් වර්ජන හේතුවෙන් මිනිස් දින 1,04,327ක් ශ්‍රී ලංකාවට අහිමිවී ඇති බව මහබැංකු වාර්තා පෙන්වා දෙයි.ඉකුත් වසර දෙක තුළ නිස්කාන්සුවේ වර්ජන කිරීමේ ඉඩ හසර වර්ජකයින්ට ලැබී තිබේ.

පිපාසයට බොන්නට දිය වතුර පොදක් ඉල්ලා සාමකාමීව සත්‍යග්‍රහ කළ ජනයාට හමුදා බැටෑලියන් ගෙන්වා පහරදුන් ඉතිහාසයකුත්, මුහුදු යන්නට භූමිතෙල් ටික ඉල්ලා උපවාස කළ ධීවරයින් මරා දැමූ ඉතිහාසයකුත්,දහදුක් විඳ ෆ්ලොරසන්ට් එළිය යට නිදිවරා හරිහම්බ කළ මුදලෙහි විශ්‍රාම වැටුප උදුරා ගන්න එපායැයි කියන විට ඇඟලුම් සේවකයින්ට පහර දී මරා දැමූ ඉතිහාසයකුත් අප පසුකොට විත් තිබේ.

වැඩ වර්ජන අයිතිය යනු මූලික අයිතිවාසිකමකි. ඒ පිළිබඳව තර්කයක් නැත. ඕනෑම පුද්ගලයෙකුට ස්වකීය අයිතිවාසිකම් භුක්ති විඳින්නට තිබෙන අයිතිය ප්‍රශ්න කරන්නට හෝ පැහැර ගන්නට කිසිවෙකුටත් අයිතියක්ද නැත. ස්ටාලින්ලාටද ඒ අයිතිය එසේම ය.

කෙසේ වෙතත්,තීරණාත්මක විභාග දෙකක් අබියස එවන් වැඩ වැරුමකට යාම වෘත්තීය අයිතිවාසිකම් කෙසේ වෙතත් සදාචාර සීමාවන් ඉක්මවා යාමක් බව ස්ටාලින්ලාට නොතේරෙනවා වන්නට බැරිය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය මෙරට විභාග අතුරින් ඉතාමත්ම තරගකාරී විභාගයකි. කන්නන්ගර මහතා අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කරන යුගයේ දී ඇති කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වශයෙන් 05 වෙනි ශ්‍රේණයේ ශිෂ්‍යත්ව විභාගයක් පැවැත්වීමට තීරණය කළ අතර මෙම විභාගය පැවැත්වීමේ අරමුණක් වුයේ, අඩු අදායම් ලබන දක්ෂ සිසුන්ට සම අධ්‍යාපන අවස්ථාවක් සැලසීමය.

මෙම විභාගයේ පවත්නා තරගකාරීත්වය ගැන ඇතැමුන් විවිධ මත ඉදිරිපත් කළද, ඉන් තොර විකල්පයක් නැති හෙයින් තවමත් එය ක්‍රියාත්මක ය. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සංඛ්‍යාව ලක්ෂ4කට කිට්ටුය. දරුවෝ සේම දෙමාපියෝද එකී තරගයේ ක්‍රීඩකයින් වන අතර විභාගයේ ප්‍රතිඵල දරුවාට,මවට සේම පවුලටම දැනෙන එකක් බවට පත්ව ඇත. වැඩ වැරුමකට අර අදින්නේ එවන් විභාගයක් අද්දර ය.

අපොස උසස් පෙළ විභාගය මෙරට පවත්නා අනෙක් තරගකාරීම විභාගය ය. දහතුන් වසරක අධ්‍යාපනයේ අවසන් තීරණාත්මක කඩයිම උසස් පෙළය.මෙය ශ්‍රී ලාංකීය පාසල් සිසුවා විසින් මුහුණ දෙන අවසන් විභාගය ය. විශ්ව විද්‍යාලවලට පිවිසීමේ කඩයිම් විභාගයක්ද වන උසස් පෙළ සමත් වූවන්ට ලබාදෙන ඉසෙඩ් ලකුණ මත රජයේ විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරාගනු ලැබේ. තවදුරටත් වැඩමූලික අධ්‍යාපන රටාවක් අහිමි ශ්‍රීලාංකේය දරු පරපුරට තමන් යන දිශානතිය තීරණය කිරීමට තිබෙන 'අගනාම'අවස්ථාව එකී විභාගය ය.මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 321,469දෙනෙකු පෙනී සිටීමට නියමිත ය.

මේ විභාග දෙකම පවත්වන්නට ආසන්නව තිබියදී වැඩ වැරුමකට යාමෙන් සිදුවන්නේ ලක්ෂ අටක් ඉක්මවන නොදරුවන්ගේ අනාගතය සමඟ සෙල්ලම් කිරීමකි.

ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙන් ලංකාවේද ශ්‍රමිකයන් සඳහා වන අයිතිවාසිකම් උදෙසා වෘත්තීය සමිතිවලින් ඉටුවූ හා ඉටුවන කාර්යභාරය අතිමහත්ය. එහෙත් ඒ කාර්යභාරය 'සදාචාර'සීමාව ඉක්මවා යනවා නම් එය අවාසනාවක් ය.

මාතෘකා