කකුලෙන් අදින්නන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි

කකුලෙන් අදින්නන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි

මොරගහකන්ද - කළුගඟ දැවැන්ත වාරි ව්‍යාපෘතිය මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙහි මහත් ප්‍රගමනයකට හේතු වන ලකුණු පෙනෙන්නට තිබේ. ඒ අතරතුර කුඩා පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීම සහ ගැමි ආර්ථිකය නැංවීම අරමුණු කරගත් වැඩසටහන් කිහිපයක්ද දියත් වේ.

කළුගඟ ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් 23දා ආරම්භ විය. මේ දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එවක පාලකයා කළ කුහකකම්ද ජනාධිපතිවරයා අවෛරී ස්වරයකින් හෙළිදරව් කළේය. දේශප්‍රේමී සළුපිළි ඇඳගත් ඇතැම් නායකයන් ජනතා ද්‍රෝහීන් ලෙස හැසිරී ඇති ආකාරය එයින් පැහැදිලි වේ.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් 15 වැනිදා නිකවැරටිය සහ කොටවෙහෙර ප්‍රදේශවලදී තවත් වැඩසටහන් දෙකක් ආරම්භ විය. ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යනු එම වැඩසටහන්ය. කොටවෙහෙර මුඩුත්තව වැව ප්‍රතිස‍ංස්කරණය ආරම්භ කෙරුණේ රටපුරා වැව් පිළිසකර කිරීමේ පුළුල් වැඩසටහනක එක් පියවරක් ලෙසය. මේ යටතේ පරිධියෙහි ජීවත්වන ජනතාවගේ ජීවන තත්වය නැංවීම සඳහා යටිතල පහසුකම් වර්ධනය කෙරේ. සමාජ සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා පියවර ගැනේ.

සහන පොලී මත ණය මුදල් ප්‍රදානය කිරීම, ස්වයං රැකියා සහ සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා අනුග්‍රහය ලබාදීම තවත් එක් පියවරකි. මෙය මුළු රටම ආවරණය කෙරෙන වැඩසටහනකි. අතීතයෙහි මෙරට ඇතැම් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වූයේ උතුරු නැගෙනහිර සහ වතු ජනතාව දිවි ගෙවන ප්‍රදේශ මගහරිමිනි. කොටින්ම මහවැලි ජලය උතුරට යැවීමටද බාධා එල්ල විය. මොරගහකන්ද - කළුගඟ එම සීමා පුපුරුවා හැරියේ රටම එක්සත් කරමිනි.

අගමැති හා මුදල් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම, මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන දියත් කෙරිණ. නිකවැරටිය ප්‍රදේශයේදී ශීතාගාර පහසුකම් සහිත ත්‍රීරෝද රථයක් එළවළු සහ මස් ප්‍රවාහනය සඳහා හඳුන්වා දීමද ඉදිරිගාමී පියවරකි.

යහපාලනය ගමට මොනවද කළේ යැයි එළිපිට අසන අය විපක්ෂයේ මෙන්ම ආණ්ඩුවේද සිටිති. ආණ්ඩුව මුල් අදියරේදී ණය උගුලේ පැටළුණේ ජංජාලයක් බවට පත්කර තිබූ ආර්ථිකයක් ගොඩගැනීම ලේසි පාසු නොවූ නිසාය. දැන් ඒ ගැටලුව සැනසිලිදායක මට්ටමකට පැමිණ තිබේ.

දූෂිත කොන්ත්‍රාත් ගනුදෙනු වෙනුවට විනිවිද පෙනෙන ටෙන්ඩර් පටිපාටියක් අනුව ප්‍රාදේශීය සංවර්ධන කටයුතු දියත් කෙරේ. දූෂිත ක්‍රමයකින් ගමට මුදල් යෑමට වඩා යහපත් ක්‍රමය හැටියට එය අගය කළ යුතුය.

ගමට මුදල් ලැබෙන ආයෝජන දියත්වෙමින් පවතින්නේ දෙවැනි පියවර ලෙසය.

ගම්පෙරළිය පෙම්පෙරළිය ලෙස හඳුන්වමින් මේ වැඩසටහන අවඥාවට ලක් කිරීම දැනටමත් අරඹා ඇත. රජය මහජන යහපත වෙනුවෙන් කරන කටයුතුවලට ප්‍රමාණවත් පරිදි ප්‍රචාරයක් නොලැබේ. විවේචන පමණක් ප්‍රබලව මහජනයා අතරට යන්නේ රාජපක්ෂ ගැති මාධ්‍ය බලය ඔස්සේය. වඩාත්ම භයානක සිදුවීම නම් කකුළෙන් ඇදීමය. තමා එයට මුහුණ දුන් අයුරු ජනපති සංවේදී අයුරින් ප්‍රකාශ කළේය.

මේ දිනවල එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා යටතේ බැංකු මගින් ණය ලබාදීමේදී ඇතැම් නිලධාරීන් සේවාලාභීන් කලකිරීමට පත්වන අයුරින් හැසිරෙන බව විවිධ පළාත්වලින් වාර්තා වේ. සේවාලාභීන් බියට පත් කරන ආකාරය නාරම්මල ප්‍රදේශයේ උපාධිධාරීන් පිරිසක් ප්‍රකාශ කර තිබිණ. මේ ක්‍රියා පිටුපස හොල්මන් කරන අවස්ථාවාදී දේශපාලන අවතාර වහා හඳුනාගත යුතුය. ඔවුන්ට ගැතිකම් කරන නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගත යුතුය. රජය සද්භාවයෙන් මහපොළොවේ පැළ කරන්නට හදන දේ ගින්නට හසු වීම අපරාධයකි.

මාතෘකා