මේ කවුද? මොනවද කරන්නේ? | ඇස පාදන රැස


මේ කවුද? මොනවද කරන්නේ?

මේ කවුද? මොනවද කරන්නේ?

ආණ්ඩුව වසර තුනකට පසුව දැවැන්ත පිමි කිහිපයක් පනින්නට පිඹුරුපත් සකසා තිබේ. දැවැන්ත වාරි කර්මාන්ත, ගම්පෙරළිය ව්‍යාපෘතිය, එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය, උදාගම් ව්‍යාපෘතිය, ඉඩම් ඔප්පු බෙදාදීමේ ව්‍යාපෘතිය වැනි වැඩසටහන් ඉන් ප්‍රධානය.

මොරගහකන්ද, කළුගඟ වාරි ව්‍යාපෘතිය යනු සිහින යථාර්ථයක් බවට පත්කරගත් මිනිසෙකුගේ අධිෂ්ඨානශීලී ව්‍යාපෘතියකි. එමතු නොව, එය වර්තමාන විශ්මිත බහුකාර්යය වාරි ව්‍යාපාරයේ කූටප්‍රාප්තිය ය. දශක ගණනාවක් සැලසුම්වලට සීමා වී තිබු යෝධ ව්‍යාපෘති යෝජනාවක් සහමුලින්ම යථාර්ථයක් බවට පත් කිරීමේ විශ්මිත කාර්ය ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලැබීය.

බොහෝ විට බොහෝ දෙනෙකුට නායකයින් විය හැකිය. එහෙත් ප්‍රායෝගික නායකයින් විය හැක්කේ අතලොස්සකට ය. විච්චූරණ පුරාජේරු නැතිවාට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකී අතලොස්සට ගත හැකි නායකයෙකි.

ඔහු විසිහතර පැයම කැප කළේ දේශපාලනය වෙනුවෙනි. ඔහුට සිහිනයක් තිබුණි. කටුක රජරට දුක්විඳින අතිමහත් ජනතාව වෙනුවෙන් පවතින ක්‍රමය වෙනස් කළ යුතු බව ඔහු දුටු සිහිනයයි. විරැකියාව, කුසගින්න, දේශපාලන පළිගැනීම් යනාදි අතිමහත් සංවේගදායක පීඩාවන් ඔහු අත්දැකීමෙන්ම වටහාගෙන තිබිණි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන දිවියේ ලොකුම සිහිනයක් වූයේ 'මොරගහකන්ද' ව්‍යාපෘතිය ය. නිදහසින් පසු මෙරට සිදු කළ 'ප්‍රකටම 'වාරි සහ සංවර්ධන ව්‍යාපෘතිය 'මහවැලි සංවර්ධන'ව්‍යාපෘතිය ය. එය තාමත් කීර්තිමත් ඉතිහාසයක් ලෙස බැබළෙමින් තිබේ. මොරගහකන්ද එහි කූටප්‍රාප්තිය ය. අද නීල දියකඳක්ව ශෝභමානව දිදුලන්නේ දශක හතරකටත් වැඩි කාලයක්‌ තිස්‌සේ සැලසුම්වලට පමණක් සීමවී තිබූ සිහිනයක් ය. විවිධ ආණ්‌ඩු යටතේ කතාවට ලඝූ වී ඉහළ-පහළ ගිය "මොරගහකන්ද" ජලාශය දෙවැනි වන්නේ ගාමිණී දිසානායක පණ දුන් 'මහවැලියට' පමණි. වස්සානයේ මහා වර්ෂාවෙන් ඉතිරි කෑ ගසාගෙන මුහුදට ගලා යන අඹන් ගඟේ ජලකඳ ලක‍්ෂ සංඛ්‍යාත ජනයාට 'හුස්ම ගෙනෙන' පින්කමක් බවට පත් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය විය.

නියං සායේ වියරු සර්පයා කුරිරු ලෙස දෂ්ට කළේ රජරටට ය. එකී විසෙන් නිරන්තර හෙම්බත්වන්නෝ, රජරට ගොවියෝය. ජාතියට බත සපයන ගොවියෝ නියන් සර්පයාගෙන් බැට කන විට ඉන් ජාතියම රෝගී වීම අරුමයක්ද...? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දකින්නේ ඒ රෝගී ජාතිය නිරෝගී කිරීමේ ප්‍රතිකර්මය ය.

තම දේශපාලන ජීවිතය තුළ ඔහු නොසන්සි‍ෙඳන සිහිනයක් දුටුවා නම් ඒ මොරගහකන්ද බහුකාර්යය යෝජනා ක්‍රමය ය. උතුරුමැද, උතුර සහ නැගෙනහිර පළාත්වල ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා මෙන්ම රටේ ජලවිදුලිබල නිෂ්පාදනය ශක්තිමත් කිරීමටත් මොරගහකන්ද ජලාශය ඉදිකිරීම ඔහු තුරුණු වියේ සිටම හදවතින් දුටු සිහිනයකි.

ජනපති මෛත්‍රී යනු ස්වකීය ඉලක්ක වෙත වඩාත් ප්‍රශස්ත ලෙස ගමන් කළ නායකයෙකි. මොහු කටයුතු කළ අමාත්‍යංශ සියල්ලෙහිම ස්වකීය වගකීම මනාව ඉටු කළේය.

1994 මැතිවරණ සමයෙහි තීරණාත්මක මැතිවරණ පොරොන්දුවක් වූයේ මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේ පොරොන්දුවයි. පොළොන්නරුව පුරාවිද්‍යා භූමියේ අතුරු සිදුරු නැතිව පිරී ඉතිරි සිටි පාක්‍ෂිකයෝ ඊට ජය ඝෝෂා නැඟූහ. එහෙත් එය යථාවක් කරන්නට මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපති වනතුරුම ඉඩ ලැබුණේ නැත.

ගමේ නායකයා, රට ගැන හිතන නායකයා, යනාදී ලෙස වෛවාරණ සැරසිලිවලින් පුද ලබන රාජපක්ෂලා මේ මහා පින්කමට 'එරෙහි' වූහ.

බස් නැවතුම්පලක් හදන්නට මුල් ගල තියද්දීත් සද්දෙට 'ඇඩ්වර්ටයිසින්' කළ ඉතිහාසයක් ඇති රටක යහපාලන ආණ්ඩුව රටින් අඩක් සශ්‍රීක කළ දියවර උදානය සිදු කළේ 'සද්ද' නැතිවමය. ජනපති මෛත්‍රී 'වැඩ' කරන හැටි වටහා ගන්නට එයම ප්‍රමාණවත් ය.'සද්ද නැතිව වැඩ' කිරීමේ කලාව ඔහු මොනවට පසක් කළේය. මෛත්‍රී 'ගමින් ගමට'යන කටයුත්ත ආරම්භ කළේත් සද්ද නැතිවය.

ඉකුත් වකවානුවේ ස්වකීය අවසන් සමයේ 'රාජපක්ෂලා' ගෙන ගිය මට්ටමේ 'පුරාජේරු සහගත ආඩම්බර බවක්' එහි නොවීය.

ජනපති මෛත්‍රීගේ ගමන එකී ව්‍යාජත්වයෙන් තොරය. වටින්නේ අන්න ඒකය. ඔහු ඔහුට ලැබුණු කටයුත්ත මනාව මතු කළේය; ඉටු කරමින් සිටින්නේය; සෙස්සෝ සිහින දකින්නේ 2020 මොකද කරන්නේ කියාය; ඔහු සිහින දකින්නේ 'මේ මොහොතේ' රටට ඉටු කළ යුත්තේ කුමක්ද කියාය. වෙනස ඒකය.

මාතෘකා