පලා යෑම

පලා යෑම

 

පුරුදු පරිදි මහින්ද රාජපක්ෂ මහතා ඊයේත් පාර්ලිමේන්තුවේ තීරණාත්මක විවාදය මඟ හැරියේය. කතාබහට ලක්වන ඕනෑම මොහොතක හෙතෙම පාර්ලිමේන්තුවේ නොසිටීම කැපීපෙනෙන සිදුවීමක් විය.

ජුනි 25දා ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත Got Sri Lanka to Cough up a Port යන හිසින් යුත් දීර්ඝ ලිපියක් සිය මුල් පිටුවේ පළ කළේ ය. වචන 3,800 ඉක්මවූ මේ රචනාව තුළින් පුවත්පත කළේ සුළුපටු හෙලිදරව්වක් නොවේ.

'ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ උන්නතිකාමී වරාය ව්‍යාපෘතියක් සඳහා ඔහුගේ චීන මිතුරන්ගෙන් ණය හා ආධාර ඉල්ලා සිටි හැම විටම එම ඉල්ලීම් සපුරා දුන්නේය' යනුවෙන් ආරම්භකොට රාජපක්ෂ ජනාධිපතිවරයාගේ චීන සබදතාවල 'කළු'පැත්ත දීර්ඝව හෙළිදරව් කරන්නට එම පුවත්පත කටයුතු කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා චයිනා හාබර් සමාගමට අයත් බැංකු ගිණුමකින් ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාගෙන ඇති බව 'ද නිව්යෝක් ටයිම්ස්' පුවත්පත මුලින්ම අනාවරණය කළේය.

රාජපක්ෂවරුන්ට සේම ඒකාබද්ධයේ කඳවුර වෙතට එල්ල වූ මේ අනපේක්ෂිත මුෂ්ටි ප්‍රහාරයෙන් ඔවුහූ සසල වූහ. පොදුජන පෙරමුණේ නාමික ලේකම් ජී. එල්. පීරිස් කියා සිටියේ මේ ප්‍රවෘත්තිය පළ කළ ලංකාවේ මාධ්‍යයට එරෙහිව නඩු පවරන බවය. එහෙත් ඔහු කිව යුතුව තිබුණේ අදාළ හෙලිදරව්ව ව්‍යාජයක් නම් 'නිව්යෝක් ටයිම්ස්' පුවත්පතට එරෙහිව නඩු පැවරීමය.

එවැන්නකට යොමුවන්නට ඒ කඳවුරේ කිසිවෙකුට වුවමනාවක් තිබුණේ නැත.

නිව්යෝක් ටයිම්ස්' පුවත්පත මඟින් පසුගියදා හෙළි කරනු ලැබූ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම චීන සමාගමකින් අයථා ලෙස මුදල් ලබාගත් බවට වන චෝදනාවලට හැකි නම් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර පිළිතුරු ලබාදෙන ලෙස ආණ්ඩුව අභියෝග කළේ ඉන්පසුව ය.

මේ සියලු චෝදනාවලට සෘජුව පිළිතුරු බඳින්නට තිබූ 'ස්වර්ණමය'අවස්ථාව රාජපක්ෂලා සියලු දෙනාම මඟ හැරි අයුරු විහිළු සහගතය.

2005 ජනාධිපතිවරණ සමයේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධ විවාදයකට අභියෝග කළේය. ඔහු එය මඟහැරියේය. 2010 වසරේදීත් සරත් ෆොන්සේකා මහතා රාජපක්ෂ මහතාට අභියෝග කළේය. ඔහු මඟහැරියේය. 2015දී මෛත්‍රීපාල සිරිසේන මහතා කළ අභියෝගයත් ඔහු මඟහැරියේය.

මීට පෙර අයවැය විවාදවලදීත්, විශ්වාසභංග අවස්ථාවලදීත්, 19 වන සංශෝධනය අවස්ථාවේත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු නාවේය. සමහර අවස්ථාවල පාර්ලිමේන්තු ආ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඡන්දය නොදී සිටියේය.

ඊයේ විවාදය අවස්ථාවේදී රාජපක්ෂලා තිදෙනාම රට ගොස් බව කීවේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ය.

නිව්යෝක් ටයිම්ස් අනාවරණය බොරු කියා ඒකාබද්ධය කියද්දීත් රාජපක්ෂලා නිශ්ශබ්දව සිටියහ. පාර්ලිමේන්තු නෑවිත් මෙවර නොකියා කියන්නේ අදාළ හෙලිදරව්ව 'සත්‍ය' බව වන්නට පිළිවන.

මාතෘකා