කාඩ්බෝඩ් වීරයෝ

කාඩ්බෝඩ් වීරයෝ

“ඔබ මිනිසෙකුට ඔහු තේරුම් ගන්නා භාෂාවකින් කතා කරන්නේ නම් එය ඔහුගේ ඔළුවට යනු ඇත. ඔබ ඔහුට ඔහුගේ භාෂාවෙන් කතා කරන්නේ නම් එය ඔහුගේ හදවතට යනු ඇත.”

යනුවෙන් නෙල්සන් මැන්ඩෙලා පවසා තිබේ. පාර්ලිමේන්තුවේ සිටින සමහර මහජන නියෝජිතයින්ට ඒ දෙවිදිහෙන්ම කතා කළත් පලක් නැත. මක්නිසාද යත් සමහර මහජන නියෝජිතයින්ට ඔළුවක් නැත. සමහර මහජන නියෝජිතයින්ට හදවතක් නැත.

ඒ දෙක නැතියවුන්ට කතාකොට පලක් නැත. පාර්ලිමේන්තුව යනු දේශපාලන විශ්වවිද්‍යාලයකි. එය ව්‍යවස්ථාදායකය ලෙසද හැඳින්වේ.

මෙරට ජනතාව වසර පහක් උදෙසා තමාගේ නියෝජිතයාව පත්කොට හරිනුයේ පාර්ලිමේන්තුවටය. රටවැසියාගේ සකලවිධ බලාපොරොත්තු එකී නියෝජිතයා මත ගොනුකොට තබන්නේ ඔහු වෙතින් ඒ අපේක්ෂාවන් යථාර්ථයක් වෙතැයි යන බලාපොරොත්තුව ඇතිවය.

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරයකුට පිටස්‌තර ලෝකයේ සිටින ඕනෑම කෙනෙකු ගැන ප්‍රකාශයක්‌ කළ හැකිය. “වෙස්‌මිනිස්‌ටර් සම්ප්‍රදායෙන් උරුම වූ ප්‍රජාතන්ත්‍රවාදය” එයයි. එකී ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඊට ආවරණය වී ‘නාඩගම්’ කිසිසේත්ම අනුමත කළ හැකි ඒවා නොවේ.

එහෙත් ඒ වෙනුවට බොහෝ දෙනෙකුගෙන් සිදුවනුයේ පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කිරීමේ ක්‍රියාවලිය ය. ඉකුත් දිනවල එය වඩාත් උග්‍ර ලෙස කරළියට පැමිණි අවස්ථා දකින්නට හැකි විය.

විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරුන් පසුගිය (03) දා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී මූලාසනයට තර්ජනය කරමින් සෙංකෝලය උදුරා ගැනිමට තැත් කරමින් සහ අසභ්‍ය වචන භාවිතා කරමින් කළහකාරී ලෙස හැසිරුණි. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාර ධර්ම කමිටුව පරීක්ෂණයක් ආරම්භ කර තිෙබ්.

එහෙත්, ඒවා ගැන මායිම් කිරීමක් දක්නට ලැබෙන්නේ නැත. ඔවුහූ ස්වකීය ‘ප්‍රාථමික’ හැසිරීම මොනවට ප්‍රදර්ශනය කරමින් සිටිති.

විවිධ තරාතිරම්වල මිනිස්සු නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු පැමිණ සිටිති. කලාකරුවෝද, විද්වත්හුද, අවියත්හුද, නළුවෝද, ක්‍රීඩකයෝද, ලේඛකයෝද, මාධ්‍යවේදියෝද, වෘත්තිකයෝද, මුදලාලිලාද ඒ නියෝජිතයෝ අතර වෙත්. ඔවුන්ගේ ඇවැතුම් පැවැතුම් විවිධය. විෂමය. සමහරුන්ගේ සමාජානුයෝජන කාර්යය සිදු වන්නේ ඉතා මන්දගාමීවය. සමහරු සමාජානුයෝජනය වන්නේම නැති තරම් ය. එවැනි අකරතැබ්බවලට හසු වූ නියෝජිතයින්ගේ හැසිරීම සිය සමාජානුයෝජන ක්‍රියාවලියේ ස්වභාවය මත තීරණය වෙයි.

පාර්ලිමේන්තුව සතුව වඩාත් ගෞරවනීය ඉතිහාසයක් හා සම්ප්‍රදායක් පවතී. එහෙත්, ශරීරයේ තරමට සාපේක්ෂව මොළය සෙමින් වර්ධනය වන ඇතැම් නියෝජිතයින් එකී සම්ප්‍රදාය ගැන තැකීමක් කරන්නේ නැත. දශක ගණනක පාර්ලිමේන්තු ඉතිහාසය තුළ සාධනීය දෑ සේම නිෙෂ්ධනීය දෑද මොනවට සිදු වූ බව නොරහසකි.

සෙංකෝල පැහැර ගැනීම්, මල්වඩම් මිනීපෙට්ටි ගෙන ඒම්, භික්ෂූන් වහන්සේලාට අඩන්තේට්ටම් කිරීම් වැනි ගෝත්‍රික හැසිරීම් ප්‍රකට කළ අවස්ථා ඕනෑ තරම් එකී ඉතිහාසයෙන් හමු වේ.

එහෙත් කථානායකවරයා ඉලක්ක කොටගෙන ප්‍රහාර එල්ල කිරීම පාර්ලිමේන්තුව තුළ එතරම් බහුලව දැකිය නොහැකිය.

අසූව දශකයේ මුල් වකවානුවේ ෙජ්. ආර්. ජයවර්ධන ජනාධිපතිව සිටියදී එ.ජා.ප. මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට පාර්ලිමේන්තුව තුළ කතා කිරීම තහනම්කොට තිබිණි. ඒ ඔවුන් කතා කළොත් සිදුවන ඛේදවාචකය ජනාධිපතිවරයා දැන සිටි හෙයිනි.

පසුගිය දිනවල අැතැම් මහජන නියෝජිතයෝ එක එල්ලේම කථානායකවරයාට තර්ජනය කරමින් හැසිරෙනු දැකිය හැකි විය. පාර්ලිමේන්තුවේදී සේම සභාව ඇමතීමේදී පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වූ කථානායකවරයාට සියලුම මන්ත්‍රීවරුන් අවනත විය යුතු බව පුනපුනා කිව යුතු නොවේ.

අවලාද දේශපාලනය ස්වකීය ඒකායන පැවැත්ම වෙනුවෙන්ම ආභරණයක් කරගත් ප්‍රාථමික මට්ටමේ නියෝජිත ෙයා් කථානායකවරයාට එදිරිව ‘කෑමොර’ දුන්හ.

අන්තිමට ඔවුන් නතර වූයේ වරප්‍රසාද කමිටුවේය.

ප්‍රශ්නය වන්නේ වරප්‍රසාද කමිටුවෙන් ගනු ලබන තීරණ ප්‍රමාණවත්ද යන්නය. දඬුවම සරල වූ තරමට සමහරු නැවත නැවත එකී වරද ‘සෙල්ලමක්’ සේ සිදු කරති.

පාර්ලිමේන්තු සභාවාරයක් සඳහා දිනකට වෙන් කරන මුදල කෝටි ගණනකි. එවැනි තැනක් සෙල්ලම් මඩුවක් බවට පත් කොට සෙල්ලම් කරන්නේ නම් හෝ කංකාරියක් නටන්නේ නම් එවැන්නන් ගැන නොවලහා තීන්දු ගැනීම රටේ හිතසුව පිණිස හේතු වන්නේය.

මාතෘකා