කන්නන්ගර පිළිරුව සහ නිදහස් අධ්‍යාපනය

කන්නන්ගර පිළිරුව සහ නිදහස් අධ්‍යාපනය

ජූලි 10 වැනිදා පැරණි පාර්ලිමේන්තුව අබියසදී ඉතා වැදගත් කර්තව්‍යයක් සිදු විය. එනම් නිදහසට උර දුන් නායකයන්ගේ ප්‍රතිමා අතරට ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන්ගේ ප්‍රතිමාවද එක් වීමය..

පොරොත්තු ලේඛනයේ සිටින්නට ඔහු ජීවතුන් අතර නැතත් ඇතැම් ප්‍රතිමා සමග සසඳන කල කන්නන්ගර පි‍ළිරුව එහි ස්ථාපිත කළ යුතුව තිබුණේ පළමු වටයේදීම බව කිව යුතුය.

ප්‍රමාද වී හෝ යුක්තිය ඉටු වීම පැසසිය යුතුය.

එපමණක් ප්‍රමාණවත් නොවේ. කන්නන්ගරයන් බොහෝ අසීරුතා මැද ඇරඹූ නිදහස් අධ්‍යාපනය මළගම් නොයා තවමත් පවතිනුයේ එයින් ආලෝකය ලද පරම්පරාවක් තවමත් සිටිනා හෙයිනි. සමකාලීන සමාජ අවශ්‍යතා අනුව දුරදිග බලා හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනයෙහි හරය නොමරා කාලීනව වෙනස්කම්වලට ලක් කරමින් පවත්වා ගෙන යෑම අධ්‍යාපන බලධාරීන්ගේත් පාලකයන්ගේත් වගකීම විය යුතුය.

නිදහස් අධ්‍යාපන පනත කප්පාදුවට ලක් කරමින් එය ක්‍රියාත්මක වීම ඇරඹූ දා පටන්ම ඊට කෙනෙහිලිකම් කෙරිණ.

අවවරප්‍රසාදලාභීන්ට අධ්‍යාපනය අහිමි කිරීමේ අපරාධය යම් දුරකට අවම කිරීමට නව අධ්‍යාපන පනත සමත් විය. එහෙත් 56 විප්ලවය නමැති ඊනියා ජයග්‍රහණය නිදහස් අධ්‍යාපනයටද කණකොකා හැඬවීය.

ආගම පාසල් විෂයක් හැටියට ඉගැන්විය යුතු නැති බව කන්නන්ගරගේ අදහස විය.

එමෙන්ම සිංහලෙන් පමණක් අධ්‍යාපනය ඔහුගේ යෝජනාවක් නොවේ, ඔහු යෝජනා කළේ මව් බස ප්‍රමුඛ කරගත් ද්විභාෂික අධ්‍යාපනයයි.

සිංහලය පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ මුග්ධ තීන්දුව සිංහල ජනයාට "මෝඩ චූන්" ගෙන දුන්නද කන්නන්ගරගේ අධ්‍යාපන දර්ශනය එයින් මොට විය. එය දකින්නට කන්නන්ගර ජීවත් වූයේ නැත.

ආගම ඉගැවීමෙන් චරිත සංවර්ධනය කළ නොහැක යන මතය බර්ට්‍රන්ඩ් රසල්ගේ මතයට සමානය. ආගම ඉගැවීමෙන් අගතිය හා සුගතිය ගැන කියා දරුවන් බය කිරීම යල් පැන ගිය අදහසකි. ශිෂ්ට සම්පන්න රටවැසියන් බිහිකිරීමේ එක් මගක් වනුයේ මානව ශාස්ත්‍ර‍ විෂයන් ඉගැන්වීමය.

මේ අතින් කන්නන්ගර යනු රසල්ට සම කළ හැකි විශිෂ්ටයෙකි.

ආගමික අධ්‍යාපනය කෙරෙහි දක්වන උනන්දුවට සමාන උනන්දුවක් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා පාලකයන්ට තිබුණේ නම් මේ රට මෙතරම් අගාධයකට යන්නේ නැත.

වත්මනෙහි නිදහස් අධ්‍යාපනය විකෘති වී ඇත්තේ එය විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් බවට පත් වීමෙනි. එය මාරාන්තික පොරයක් බවට පත්ව ඇත. ඒ වනාහි දරුවන් කායිකව හා මානසිකව පිරිහෙළන අසම්පූර්ණ පීඩාකාරී අධ්‍යාපනයකි. මෙයින් බිහි වන්නේ කන්නන්ගර අපේක්ෂා කළ යහපත් මිනිසුන් නොව පසුගාමී බෙලහීනයන්ය.

ලොව කිසිදු රටක නොමැති අන්දමේ ටියුෂන් මුදලාලි පන්තියක් මෙරටේ බිහි වී සිටිති. පාසල් අධ්‍යාපනයද ටියුෂන් අධ්‍යාපනයේ ගොදුරක් වී හමාරය. මේ ඇදය කෙළින් කළ හැකි මග දහම් අධ්‍යාපනය ජප කිරීම නොවේ.

එය අතීසාරයට අමුඩ ගැසීමකි. මුලින් කළ යුත්තේ කන්නන්ගර දර්ශනය හඳුනා ගැනීමය. දෙවනුව එය කාලීන අවශ්‍යතා අනුව යාවකාලීන කිරීමය. කන්නන්ගර ජීවතුන් අතර සිටියා නම් කරනු ඇත්තේත් ඒ ටිකමය.

අවිද්‍යාවෙන් අත්මිදීම කන්නන්ගර දර්ශනයේ පදනමයි. යුනෙස්කෝ සංවිධානය ආසියාවේ අධ්‍යාපන ප්‍රාඥයා හැටියට කන්නන්ගරයන් අභිෂේක කරමින් ඔහු ලෝක මට්ටමේ චරිතයක් බවට පත් කරන්නේ අපේ රටේ උගතුන්ට එබඳු තක්සේරුවක් නොමැති අවස්ථාවකය.

කන්නන්ගර පිළිරුව මිථ්‍යාවෙන් ආලෝකයට පිය නැගූ යුගයක් සිහි කරන සංකේතයක් වැන්න.

මාතෘකා