බස් මගීන්ගේ අනාරක්ෂාව

බස් මගීන්ගේ අනාරක්ෂාව

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් මගීන් 78 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. දැනගන්නට ඇති පරිදි අනතුරට හේතු වී ඇත්තේ රියදුරන් බස් ධාවනය කරන අතර විනෝද වන්නට යෑමය. මෙය සත්‍යයක් නම් රියදුරන්ගේ සෙල්ලම මගීන්ට මෙන්ම ඔවුන්ටද ලෙල්ලමක් වී තිබේ. මෙතෙක් අත්දැකීම් අනුවද පෙනී යන්නේ බස් රියදුරන් මගීන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන බවය.

රිය අනතුරු නිසා දිනකට සිදුවන ජීවිත හානි ගණන අට ඉක්මවයි. 2017 වසරේ රියදුරු බලපත් නොමැතිව වාහන ධාවනය කිරීමේ වරදට චෝදනා ලැබූ සංඛ්‍යාව 50,000 ඉක්මවයි. බීමත්ව වාහන ධාවනය කිරීමේ චෝදනා ලැබු සංඛ්‍යාවද ඊට ආසන්න වේ. මෙය සුලු කොට සැලකිය යුතු තත්ත්වයක් නොවේ.

පුද්ගලික බස් රථ ධාවනය සම්බන්ධයෙන් නිසි නියාමනයක් නොපැවතීම අනතුරු බහුල වීමට බලපෑ ප්‍රධාන හේතුවකි. ප්‍රවාහන විශේෂඥයන්ගේ අදහස්ද සැලකිල්ලට ගනිමින් නියාමන පද්ධතියක් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම ප්‍රවාහන බලධාරීන්ගේ වගකීමය.

පුද්ගලික බස් රථ නියාමනය කිරීම සඳහා දැනට ආයතන ව්‍යුහය වන්නේ ජාතික ගමනා ගමන කොමිසමයි. එහි ප්‍රතිපත්ති නිස අයුරින් ක්‍රියාත්මක වන්නේ නම් පුද්ගලික බස්රථ සේවා පද්ධතිය මේ තරම් ගැටලුකාරී වනු ඇතැයි සිතිය නොහැක.

ජාතික ගමනාගමන කොමිසම බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට ආචාර ධර්ම පුහුණුවක් ලබා දෙයි. මේවා කඩකිරීම වරදකි. මෙහිදී ගමනාගමන කොමිසම, මගීන් සහ බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් යන තුන්කොන් සම්බන්ධය සහ ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු විය යුතුය. මගීන්ට උපකාරී වීම සඳහා කොමිසම ලබා දෙන තොරතුරු පුවරු බස් රථයේ ඇලවිය යුතුය. මගීන්ගේ අයිතිවාසිකම් කඩ කෙරෙන අවස්ථාවලදී කොමිසමට දැනුම දීමට අවශ්‍ය දුරකථන අංකයද එහි වේ.

මගීන්ට අනතුරක් වන ලෙස අධික වේගයෙන් ධාවනය කිරීම, අධික ශබ්දයෙන් කැසට් පට වාදනය, ටිකටි පත් ලබා නොදීම යනාදී කරුණු පිළිබඳ කොමිසමට වහාම පැමිණිලි කිරීමේ හැකියාව හා අයිතිය ඇත. ඒ අයිතිය ලබා ගැනීම වෙනුවෙන් මගියා පෙනී සිටිය යුතුය. අපේ රටේ බස් රථ මගියා යනු රියදුරාට හා කොන්දොස්තරවරයාට වුවමනා පරිදි බසය ගෙන යෑමට ඉඩදී මුනිවත රකින පසුගාමී මිනිසෙකි.

මෑතකදී අනුර සී පෙරේරා අනාවරණයක් කළේය. ලොව වැඩියෙන්ම හෝන් ගහන රියදුරන් සිටින රට ලංකාව බවත් එය මගීන් බස් සේවකයන් නිතර කෝපයෙන් පසුවීමට බලපා ඇති බවත් පෙන්වා දුන්නේය.

පුද්ගලික බස් සේවය පටන් ගැනුණේ ලංගම බස් සමඟ තරගකාරීව ප්‍රවාහනයෙහි යෙදීමෙන් කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් ඇති කිරීමටය. සිදු වුණේ අනික් පැත්තය. එනම් ලංගම බස්වලට තර්ජනයක් වීම හා පුද්ගලික බස් අතරද වෛරක්කාරී ගැටුමක් ඇති වීමය. මගීන් පුරවාගෙන රේස් දිවීම නිසා පුද්ගලික බස් රථ නිතර අනතුරට ලක් වීම ඔස්සේ විශාල ජීවිත අවදානමක් ඇති වීමය.

මගීන්ගේ ආරක්ෂාව පමණක් නොව ආත්ම ගෞරවයද නැති කර තිබේ. ඔවුන් යකඩ ගොඩක පැටවූ කෑලි ගණනට වැටී තිබීම බියකරුය.

බස්රථ සේවකයන්ටද මගීන්ගේ දයාව කරුණාව නොලැබේ. මේ වියවුල ඉක්මනින් ජයගැනීම රටේ සෞඛ්‍යයට හොඳය.

පුද්ගලික බස් සේවයෙහි පිරිහීමට බලපෑ එක් හේතුවක් වනුයේ දේශපාලකයන් හා ඔවුන්ගේ හෙංචයියන් විශාල ප්‍රමාණයක් බස් මුදලාලිලා වී සිටීමය. ඔවුන් හික්මවන්නට යෑම මන්තර බලයෙන් අලින් මෙල්ලකිරීමටත් වඩා අසීරුය.

මාතෘකා