මත් උවදුර මැඬලීමේ අභියෝගය

මත් උවදුර මැඬලීමේ අභියෝගය

ලංකාවේ මත්ද්‍රව්‍ය වැටලීම් ඉතිහාසයේ වාර්තා වන වැඩිම මත් ද්‍රව්‍ය තොගය පසුගිය 07වැනිදා රාත්‍රියේදී අත්අඩංගුවට ගැනිණ. රුපියල් කෝටි 125කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ ග්‍රෑම් 103කට අධික ප්‍රමාණයක් මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීය. මත්ද්‍රව්‍ය වෙළෙඳාමට චෝදනා ලැබ මරණ දඬුවම් නියමව සිටින අයකු සිරමැදිරියේ සිට ජාවාරම මෙහෙයවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.

මෙය ඉතා භයානක තත්වයකි. සිර මැදිරියේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීමේ හැකියාවක් තිබේ නම් එයින් හැඟෙන්නේ බන්ධනාගාරයෙහි සිදුරු ඇති බවය.

ඉහත ප්‍රවෘත්තියේ උණුසුම පහව යෑමටත් මත්තෙන් ඊයේ (09) දිනයේද තවත් හෙරොයින් කිලෝ 4කට වැඩි ප්‍රමාණයක් කටුනායකදී අත්අඩංගුවට පත් වූ අතර එහි වටිනාකම රුපියල් කෝටි 5කට අධික බව සඳහන් විය.

2018 ජනවාරි මස පටන් ජුනි දක්වා අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 141 කි. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 17,000 ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙයි හැඟෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ලෝලීන්ගෙන් බන්ධනාගාර පිරිතිරීයමින් තිබෙන බවය. කටින්, පොතින් පතින්, පුවත්පත් සහ විද්‍යුත් නාළිකා මගින් උදේ හවා බණ කියන රටක් මත්ද්‍රව්‍යවලින් වැනසී තිබීම ශෝකජනකය.

මෑත අවධියෙහි පාසල් දරුවන්ද විවිධ මත්ද්‍රව්‍යවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් පවතී. දරුවන් සඳහා උචිත නවීන මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරමින් නව වෙළෙඳ පොළක් නිර්මාණය කර ගැනීම ජාවාරම්කරුවන්ගේ අරමුණ වී ඇත.

හිතුවක්කාර දේවල් අත්හදා බැලීමේ කැමැත්ත හා විභාගකේන්ද්‍රීය අධ්‍යාපනයෙන් එල්ල වන පීඩනය දරුවන් මත්ද්‍රව්‍යවලට ඇදී යෑම කෙරෙහි බලපා තිබේ. මෙහිදී වැඩිහිටියන්ට ඇත්තේ නොපටු වගකීමකි.

පොලිසිය, දේශපාලන හා ආගමික සංස්ථාවල ක්‍රියාකාරිත්වයද තීරණාත්මකය. ඇතැම් පොලිස් නිලධාරීන් හා ඇතැම් දේශපාලකයන්ගේ අනුග්‍රහය ජාවාරම් කරුවන්ට ලැබේ. කළු සල්ලි සුදු කිරීමේ තිප්පළවල් හැටියට කටයුතු කරන ඇතැම් මාධ්‍ය ආයතන හා ආගමික ස්ථාන සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඇති සම්බන්ධය කුප්‍රකට රහසකි.

මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමේ මෙහෙයුම සාර්ථකව ඉටු කළ පොලිස් පරීක්ෂකවරයකු වූ ඩග්ලස් නිමල් මරා දැමීම සඳහා කොළඹ හිටපු පොලිස් ලොක්කෙක් කුඩු ජාවාරම්කරුවකුට සහය දුන්නේය. ඒ නිලධාරියා කිසිදු උපද්‍රවයකින් තොරව වත්මනෙහි පුද්ගලික ආරක්ෂක සේවයක් පවත්වා ගෙන යයි.

ඝාතනය සිදු වී වසර 15ක් ගතවී ඇතත් පොලිසිය කිසිදු පරීක්ෂණයක් පවත්වා නැත. එසෙව් පොලිසිය මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම හාස්‍යජනකය.

පසුගිය රජය කුඩු ජාවාරමට සම්බන්ධ දේශපාලකයකුට ආරක්ෂක අධීක්ෂණ පදවියක්ද ලබා දුන්නේය.

කවුරු බලයට පැමිණියත් මත් උවදුර මැඬලීම දුෂ්කර වී තිබේ.

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ අතරමැදි කලාපයකය.

එහිදී අභ්‍යන්තර හා බාහිර සාධක දෙකම පාලනය කිරීම සංකිර්ණ කටයුත්තකි. රට මුහුණදෙන බරපතළ ගැටලුවක් බවට මත්ද්‍රව්‍ය පත්වෙමින් තිබීම සැලකිල්ලට ගත යුතුය.

මාතෘකා