පොලිස් ‘ඩමි’

පොලිස් ‘ඩමි’

"මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" යන කියමන 'මඟ හිටියොත් සැම නසී" යනුවෙන් වෙනස්‌ කිරීමෙහි වරදක් නැති බව පෙනෙන්නේ මෙකල සිදු වන මාර්ග අනතුරු ගැන අවධානය යොමු කළ විටය.

පසුගිය දශක කීපයේදී යුද්ධයෙන් මියගිය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මාර්ග අනතුරු නිසා මියගොස් ඇත. දිනකට රථ වාහන අනතුරුවලින් මියයන සංඛ්‍යාව අටක්‌ බවට පොලිස්‌ පොතේ සටහන් වෙයි. ඇසිපිය හෙළන නිමේෂයෙන් ඔබේ සමීපතමයා උදුරා ගන්නට 'රිය අනතුරකට' හැකිය. ඒ තරමටම රිය අනතුරු බහුලව සිදු වේ.

ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව මාර්ග අනතුරු 37,000ක් පමණ සිදු වන බව වාර්තා වෙයි. ඉන් 2500ක් මාරක රිය අනතුරුය.

කාලානුරූපීව ධාවනයට එක් වෙන රථවාහන සංඛ්‍යාවත් සමඟ රථවාහන අනතුරුවලින් සිදුවන මිනිස් ජීවිත විනාශ වී යාමද මෑතක සිට ඉහළ යමින් පවතී.

මේ අනතුරුවලින් බොහොමයක් මියයන අතර බහුතරයක් දීර්ඝකාලීන ආබාධිත තත්ත්වයට පත් වෙයි.

රිය අනතුරුවලට භාජනය වන්නන් අතර බහුතරයක් වයස අවුරුදු 15-40ත් අතර රටේ ඵලදායී කණ්ඩායමට අයත් පුද්ගලයන්ය. එබැවින් මෙය රටේ ආර්ථීකයටද බලපෑමක් ඇති කරයි. රිය අනතුරුවලට භාජනය වූවන්ට ප්‍රතිකාර කිරීමට සහ පුනරුත්ථාපනය කිරීමට රජය විශාල මුදලක් වැය කරයි.

සෑම වසරකම රිය අනතුරුවලින් ලොව මිනිසුන් මිලියන 1.2ක් මිය යන අතර මිලියන 50ක් තුවාල ලබයි' යන්න සමීක්ෂණයක ප්‍රතිඵල හෙළිදරවු කරයි.

මේ අවාසනාවන්ත තත්ත්වයෙන් ජිවිත සුරක්ෂිත කරනු පිණිස බොහෝ ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කළ අවස්ථා දකින්නට ලැබේ.

මහජන ආරක්‌ෂාවත් පිණිස වත්මන් රජය අයවැයෙන් රථවාහන වැරදි සඳහා අය කළ යුතු දඩමුදල් සියයට සියයකින්ම ඉහළ දැමූ අතර අනතුරු අවම කිරීම උදෙසා ගත් සාධනීය ක්‍රියාමාර්ගයක් ලෙස එය හැඳින්විය හැක.

"මාර්ග අනතුරු සේම වෙනත් අපරාධද මැඩලීමේ" එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනෙක් බා ගැනීමේ උපාය මාර්ගයට පොලිස් දෙපාර්තමේන්තුව අවතීර්ණ වී සිටින බවක් පෙනේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයට අනුව 2020 - 2030 වන විට මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන මරණ සහ තුවාල වන සංඛ්‍යාව හරි අඩකින් අඩු කිරීම ඉලක්කය වෙයි.

අධ්‍යාපනය, තාක්‌ෂණය, නීති පැනවීම සහ ක්‍රියාත්මක කිරීම ආර්ථිකය යන සිව් විධ උපායන් මඟින් රිය අනතුරු මැඩලීමට හැකියාව පවතී.

එහි නවතම අත්හදා බැලීම 'පොලිස් අනු රූ'(ඩමි) ඉදි කිරීමය. මාර්ග අනතුරු අවම කිරීම උදෙසා පොලිසිය ගත් ප්‍රශස්ථ උපාය මාර්ගයක් ලෙස මෙය පැසසිය යුතුය. මේ අනුරූ කොළඹ පුත්තලම මාර්ගයේ මේ වනවිට ස්ථාපිතව තිබෙන අතර එය දිවයින පුරා ව්‍යප්ත කිරීම වඩාත් කඩිනම් කිරීම වටී.

පොලිසිය දකින විට ක්ෂණිකව නීතිගරුක පිළිවෙතට යොමුවන රියදුරෝ පොලිසිය නොමැති විට සහමුලින්ම පුරුදු අවිනීත ධාවනයේ යෙදෙති. ඊටත් වඩා අවාසනාවන්ත තත්ත්වය වන්නේ විරුද්ධ දෙසින් රථවාහන පොලිස්‌ නිලධාරීන් සිටින්නේ නම් ඒ බව තමාට සම්මුඛ වන රියදුරන්ට ප්‍රධාන විදුලි ලාම්පු දල්වා දැනුම්වත් කිරීමේ ක්‍රියාවලියයි. එවිට රියදුරෝ නැවත 'විනයගරුක'වෙති.

මෙවැනි තත්ත්වයක් තුළ ප්‍රශස්ථ මාර්ග ධාවන ක්‍රියාවලිය සිහිනයක් වී තිබේ.

මේ අනුරූවලට හුරු වූ කල පුරුදු රටාවටම යොමුවීම අපේ රටේ බොහෝ දෙනාගේ සාමාන්‍ය ස්වරූපයයි. පොලිස් අනුරූ 'ඩමි' බව සිතා ඒවා පැහැරගෙන යන්නන් සිටින්නටද බැරි නැත. එවැනි නොසණ්ඩාලකම්වලට මනා පළපුරුද්දක් මෙරට බොහෝ දෙනෙකුට තිබේ.

ඒ නිසා 'ඩමි' රැක ගැනීම ගැන අවධානය යොමු කිරීමද වැදගත්ය. එබැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීමද වටී.

මාතෘකා