විජයකලාගේ ප්‍රකාශයෙන් දිග්විජය කිරීම

විජයකලාගේ ප්‍රකාශයෙන් දිග්විජය කිරීම

කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් යාපනයේ වීරසිංහම් ශාලාවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අගමැතිවරයා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. එය කතානායකවරයා ඊයේ [4] වැනිදා නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මෙය සභාවට ප්‍රකාශ කිරීමට පෙර විශාල ගාලගෝට්ටියක් පාර්ලිමේන්තුවේ ඇති විය.

වත්මන් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ විමල් වීරවංශ එම ගාලගෝට්ටියේ පෙරමුණ ගත්තේය.

වීරවංශ හිටපු ජේවීපීකාරයෙකි. එම පක්ෂය ඇත්තටම පාර්ලිමේන්තුවට බෝම්බ ගැසුවේය. දකුණේ මන්ත්‍රීවරයකු වූ කීර්ති අබේරත්න එයින් මිය ගියේය. ලලිත් ඇතුළත්මුදලි මාරාන්තික තුවාල ලැබීය.

දළදා මාළිගාවට මුලින්ම බෝම්බ ගැසුවේද ජවිපෙ විසිනි. එටීටීඊය පසුකලක බෝම්බ ලොරියක් හැප්පුවේ ඒ ආදර්ශයෙනි.

ජවිපෙ සහ එල්ටීටීඊ යන දෙකම ත්‍රස්තවාදය දේශපාලන අවියක් ලෙස භාවිත කළෝය.

ඕනෑම ත්‍රස්ත සංවිධානයකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් වීමේ අවකාශය පවතී. ඒ නිසා විමල්ලා පාර්ලිමේන්තුව නියෝජනය කරති. ඔහු පක්ෂ නායකයෙකි. එබඳු පුද්ගලයකු පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යැයි ප්‍රසිද්ධියේ කී විට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පියවර ගත යුතුව තිබිණ. එහෙත් අවාසනාවකට එවැන්නක් සිදු වූයේ නැත. ඒ නිසා බයිබලයේ ඇති පරිදිම තමන්ගේ ඇසේ ලී පරාල තබාගෙන අනුන්ගේ ඇස්වල වැලි කැට පෙන්වීමේ හැකියාව ඔහුට ලැබී තිබේ.

විජයකලාගේ ප්‍රකාශය ජාතික ප්‍රශ්නයක් කරගනිමින් එය ආණ්ඩුවේ වරදක් හැටියට මරහඬ දෙන ඊනියා දේශප්‍රේමීන්ගෙන් බොහෝ දෙනකුට දූෂණ, වංචා සහ ඝාතන චෝදනා පවතී. ඝාතකයන් රණවිරුවන් හැටියට ඔජවැඩීමේ චෝදනා පවතී.

මේවා යටපත් කරගැනීමේ අවස්ථාවක් පාදා ගැනීම ඔවුන්ගේ අභිලාෂය බව පෙනේ.

ඔවුනට ගැති මාධ්‍ය කලින් කලට රට කැළඹීමේ සිදුවීම් උළුප්පයි. පාර්ලිමේන්තුව දෙවනත් කිරීම සඳහා අවස්ථාවාදීහු මේවා භාවිතයට ගනිති.

විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය බැලූ බැල්මට වැරදි ආකල්පයකට තුඩු දෙන බව පෙනේ. මන්ත්‍රීවරයකු/වරියක එවැනි ප්‍රකාශයක් කළ විට ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පිළිගත් නීතියක් මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායක්ද පවතී. ඒ කටයුත්ත ආරම්භ වී ඇත. විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතාද ඇගේ ප්‍රකාශය හෙළා දැක ඇත. එනිසා මෙය දෙමළ සන්ධානයේ මතය යැයි වරදවා වටහා ගත යුතු නැත. එමෙන්ම එය එල්ටීටීඊ සංවිධානයේ වුවමනාව නියෝජනය කිරීමක් ලෙසද සැලකිය නොහැක. විජයකලාගේ සැමියා මරණයට පත් කළේ යැයි චෝදනා එල්ල වන්නේ එල්ටීටීඊ සංවිධානයටයි.

විජයකලාගේ ප්‍රකාශය වැරදි එකක් වුවත් එය වටහා ගත යුත්තේ උතුරේ වත්මන් සමාජ සන්දර්භය අනුවය.

2009 යුද ජයග්‍රහණයෙන් පසුව පශ්චාත් යුද සමයක ඉටු විය යුතු සංක්‍රාන්තීය යුක්තිය ඉෂ්ට කිරීම පසුගිය රජය නිසි පරිදි නොකළේය. එම රජය පත් කළ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමද මන්දගාමී විය. ඔවුන් උනන්දු වූයේ යුද ජයග්‍රහණය සැමරීමටය. එයින් උතුරේ ජනයා දකුණෙන් තවත් ඈත් විය.

දිගුකාලීන යුද්ධයකින් පසුව ප්‍රචණ්ඩත්වය උතුර දකුණ වෙලාගත්තේය. ඝාතන, අපයෝජන, මත්ද්‍රව්‍ය සමාජයෙහි පැතිර ගියේය. මේවාට පිළියම් දිය යුත්තේ දිගු කාලීන හා කෙටි කාලීන සැලසුම්වලිනි. වත්මන් රජය ඒ අතින් පියවර කීපයක් ඉදිරියට තබා ඇත.

ජවිපෙ මෙන්ම එල්ටීටීඊයද සන්නද්ධ ව්‍යාපාරයේ සිටියදී ආයුද බලයෙන් අපයෝජකයන්ට දඬුවම් දීමෙන් ක්ෂණිකව ඒවායෙහි පාලනයක් ඇති විය.

එහෙත් එය දිගුකාලීන පිළිතුරක් නොවේ. සන්නද්ධ බලයෙන් ඒවා විසඳිය නොහැක.

විජයකලා මහේෂ්වරන් එල්ටීටීඊ සිහිපත් කර ඇත්තේ සන්නද්ධ ව්‍යාපාරයක් කෙරෙහි විශ්වාසයකින් නොවන බව පෙනේ. එය ඇගේ හැඟුම්බර ප්‍රකාශයකි. එහෙත් මහජන නියෝජිතවරියක හැටියට වගකීම් සහගතව කටයුතු කිරීමේ පාඩම ඉගෙන ගැනීමට ඇයට මේ හොඳ අවස්ථාවකි.

මාතෘකා