බිහිසුණු මතක යළි අවදි වෙයි

බිහිසුණු මතක යළි අවදි වෙයි

මෙරට දේශපාලන ඉතිහාසයේ අතිශය බිහිසුණ හා තුච්ඡ මිනිස් ඝාතනයක් වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතකයන් හට ලබා දුන් තීන්දුවට එරෙහි අභියාචන නඩු විභාගය මේ දිනවල පැවැත්වෙයි. මෙය මුළු රටේම අවධානය යොමුවී ඇති නඩුවකි.

ඝාතන චෝදනාවට මහාධිකරණයෙන් දඬුවම් නියම වු දුමින්ද සිල්වා, රාජපක්ෂ රෙජීමයෙහි සමීපම හුරතලෙකි. මුලින් ආ කණට වඩා පස්සෙ ආපු අඟ ලොකුවන්නාක් මෙන් පක්ෂයේ පැරණි ක්‍රියාධරයකු පැත්තකට දමා අලුත් සල්ලි ගසට ඉහළින්ම සැලකීම පාක්ෂිකයන්ගේ දැඩි විවේචනයට ලක් වී තිබිණ.

කළු ආර්ථිකයේ ක්‍රීඩකයකු වශයෙන් දුමින්දට තිබු බරපතළ චෝදනා එසේ තිබියදීම රෙජීමය ඔහුට ආරක්ෂක අධීක්ෂණ මන්ත්‍රී තනතුරක්ද ලබා දුන්නේය. ඔහුට හමුදා ආරක්ෂාව ලැබිණ. පොලිස් ආරක්ෂාවද ලැබිණ. නඩු විභායේදී ඔහු ඇවිදින පොලිස් ස්ථානයක් හැටියට පැමිණිලි පාර්ශ්වයේ නීතිඥයා තර්ක කොට තිබිණ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ දුමින්ද අතර තිබූ සමීප සම්බන්ධය එකල විවිධ මාතෘකා නිර්මාණය කළේය. කොටින්ම දුමින්ද ජයවර්ධනපුර රෝහලට රැගෙන යෑම සහ ඉන්පසු විශේෂ ආරක්ෂාව යටතේ එතෙර රෝහලකට යැවීම සඳහා ගෝඨාභය දුමින්දගේ සෙව‍ණැල්ල මෙන් ළඟින් සිටියේය.

කොලොන්නාවේ භාරතගේ සහ ඔහුගේ අනුගාමික ප්‍රසන්න සෝලංග ආරච්චිගේ බලය සුන්කොට දුමින්දට බලය ලබා දීම රෙජීමයේ තදබල ඕනෑකම බව පෙනිණ. භාරතට ප්‍රසිද්ධියේ මරන තර්ජන එල්ල වී තිබියදී රෙජීමය කිසිදු පියවරක් නොගත්තේය. අවසන ඔහු ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමන ලදි. එසේ මරණයට පත් කළේ ජනාධිපතිගේ වෘත්තිය සමිති උපදේශකවරයාය. තමන්ගේම මිනිහාට මෙහෙම සලකන විට විරුද්ධවාදීන්ට සලකන තරම කෙසේ වී දැයි තේරුම් ගැනීමට මහඟු අවස්ථාවක් එයින් ලැබිණ.

එම සිදුවීමෙන් රටම කම්පාවට පත් විය. හෘද සාක්ෂිය අහිමිවූ දේශපාලනයක කෲර ස්වභාවය එයින් රටට දැනිණ.

පැහැදිලි වශයෙන්ම එය පුද්ගලයන් දෙදෙනකු අතර ගැටුමකට ඌනනය කළ නොහැක.

එය රෙජීමයේ දේශපාලන බලය තහවුරු කරගැනීම සඳහා පක්ෂයේ මුදුන් කණු පවා බිල්ලට ගන්නා බිහිසුණු ක්‍රියාදාමයක එක් අවස්ථාවකි.

මෙය සඟ, වෙද, ගුරු, ගොවි කම්කරු සමූහයෙන්

ගොඩනැඟුණු පැරණි පක්ෂයක ප්‍රජාතන්ත්‍රවාදී ඕජෝ ගුණය සහ විනිවිද බව වියැකී කළු ආර්ථිකයේ ඒජන්තයන් අතට එහි බලය හුවමාරු වීමේ ඓතිහාසික අවස්ථාවකි.

රාජ්‍ය දේපල මංකොල්ල කෑම, මත්ද්‍රව්‍ය වෙළෙඳාම, දුෂිත ගනුදෙනු, ආයුධ ජාවාරම ඇතුළු මාර්ග ගණනාවකින් ඉදිරියට පැමිණි පිරිස් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය විනාශකරමින් සිටී.

රෙජීමය මේ බලවේග සමඟ හොඳින් දීග කෑවේය. පක්ෂයේ ප්‍රබල බලකණු මුළුගන්වමින් ලුම්පන් බලවේගවලට අවශ්‍ය පරිදි ප්‍රතිපත්ති පාවාදෙන ලදි. මේ තත්වය කෙතරම් දුරදිග ගියේද යත් උසාවියෙන් වරෙන්තු ලැබ සිටි කැලණියේ ද්ශපාලකයා අරලියගහ මන්දිරයේ හිරිහැරයකින් තොරව සිටිනු පෙනිණ.

සිංගප්පූරුවෙන් මෙරට පැමිණි දුමින්ද සිල්වා කිසිදු බාධාවකින් තොරව කෙළින්ම ගියේ අරලියගහ මන්දිරයටය.

ජනවාරි 8 වෙනි දින උඩු යටි කරන ලද්දේ එතරම් බිහිසුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයකි.

මාතෘකා