ඇස පාදන “රැස”

ඇස පාදන “රැස”

'රැස' ජාතික පුවත්පතෙහි සමාරම්භක කර්තෘ චාමර ලක්ෂාන් කුමාර සහෘදයා සිය දිවි සැරිය අතරමඟදී නිම කර 'රැස' කර්තෘ මණ්ඩලයත්, ඥාති, හිත මිත්‍රාදී රැසෙනුත් සමුගන්නා ඒ හැඟීම්බර දිනය උදා වී ඇත.

චාමර ලක්ෂාන්ගේ ආදරණීය මතකයන් කැටුව හෙටත්, මතුවටත් 'රැස', ඇස පෑදීම උදෙසා ඔබේ අතට පත්වනු ඇත.

2018 ජනවාරි මස 11 වෙනිදා ඔබ අතට පත් වූ 'රැස' පළමු පත්තරය වෙනුවෙන් චාමර අකුරු කළ කතුවැකිය, ඔහු දැයෙන් සමුගන්නා අද දිනයේ ඔහුට උපහාරයක් පිණිස මෙසේ පළ කරමු.


ඇස පාදන “රැස”

“රැස” ඔබ අතට පත් කරනුයේ දැඩි බලාපොරොත්තු සහිත උද්යෝගයකින් හා අනාගතවාදී දැක්මක් පෙරදැරිවය. අලුත් පුවත්පතක් වෙළෙඳපොළට පැමිණීමේදී බොහෝ දෙනා පැවසීමට හුරුව ඇත්තේ, එය “අලුත්” පත්තරයක් නොවන බවය. අලුත් යැයි පවසන්නට බොහෝ දෙනා තුළ ඇති බිය ඊට හේතුවය. නමුත් “රැස” යනු අලුත් පත්තරයක් බව අපි නොබියව පවසන්නෙමු. යල් පැනගිය මිථ්‍යා විශ්වාස, අපරාධ හා ඕපාදූප ප්‍රාසාංගීකරණය කරමින් පාඨකයා රැවටීම හා ඇන්දවීම වෙනුවට ඔවුන් සමග හරවත් බුද්ධිමය සංවාදයක නිරත වීම අපේ අපේක්ෂාවය. ඒ ගමන පහසු නොමැති බව අප දන්නා මුත්, වඩාත් අධිෂ්ඨාන සහගතව එය මහපොළොවේ ඇත්තක් බවට පත් කළ හැකි, සැබෑ ජනමාධ්‍යවේදීන් යැයි කටපුරා කිව හැකි පිරිසක් “රැස” වටා ගොනු වී සිටිති. ඉදිරිය පිළිබඳ අවම හෝ සැක සංකාවක් අපට නොමැත. සැබැවින්ම පවතින ජනප්‍රියවාදී මාධ්‍ය සංස්කෘතිය අතික්‍රමණය කරමින් උඩුගම් බලා යාමට සැරසෙන “රැස” සමඟ ගොනුව සිටිනුයේ ලාභ සත්කාරය වෙනුවට යහපත් සමාජ වෙනසක් අපේක්ෂා කරන, එය ලාලසාවක් කරගත් පිරිසකි.

“රැස”හි අපගේ තේමාව වනුයේ “ඇස පාදන” යන්නය. සැබැවින්ම එය “රැස” හි අර්ථය කුළුගන්වයි. “ඇස පෑදීම” වෙනුවට අද බොහෝ දෙනා කරමින් සිටිනුයේ එහි අනෙක් පැත්තය. අවිද්‍යාව, මිථ්‍යාව ඔස්සේ දෙඇස නිලංකාර කිරීමයි. නිදහස ලබන සමයේ ආසියාවේ විභූතිමත්ම රාජ්‍යයක්ව පැවති ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ආපස්සට හැරවීම වෙනුවෙන්, එම වගකීම් විරහිත මාධ්‍ය භාවිතාව ද ප්‍රබල හේතුවක් වූ බව අපගේ විශ්වාසයයි. පවතින සමාජ, දේශපාලන, ආර්ථික සන්දර්භය තුළ මාධ්‍ය යනු කර්මාන්තයක් බව පිළිගන්නා අතරම එය මහජන සේවාවක් බව අපි දැඩිව විශ්වාස කරන්නෙමු. “රැස” හි අපගේ මාධ්‍ය භාවිතාව දිගහැරෙනුයේ ඒ මත පිහිටාය. එහිදී අප ගමන් කරන්නේ අතීතය කරා නොව අනාගතය කරාය. වඩාත් සමෘද්ධිමත්, සමානාත්මතාව හා නිදහස ගරු කරන දියුණු, ශිෂ්ට ලෝකයක් වෙතය. සියලු පටු භේද සහ ආචීර්ණකල්පික මූඪ ආකල්ප අතහැර අප ගමන් කළ යුත්තේ ඒ දෙසටය. අප මුළුමහත් සමාජයටම මඟපෙන්වන්නේ ඒ දෙසටය. සුවහසක් ජනයා එකම අරමුණකට ගොනු කිරීම අපගේ අපේක්ෂාවයි.

“රැස” තුළින් එක් එක් ජනවර්ග නොව, මුළු මහත් සමාජයම නියෝජනය වෙයි. එනම් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවමය. පුවත්පතක් ලෙස අප පෙනී සිටිනුයේ එක් ජනකොටසක් වෙනුවෙන් නොව සමස්ත ශ්‍රී ලාංකීය ජාතිය වෙනුවෙනි. එනම් “රැස” වෙනුවෙනි.

මාතෘකා