ගොවි රක්ෂණය සම්බන්ධයෙන් වැදගත් තීන්දුවක්

ගොවි රක්ෂණය සම්බන්ධයෙන් වැදගත් තීන්දුවක්

ජාතික ආර්ථිකයෙහි කෘෂිකාර්මික දායකත්වය සංඛ්‍යා දත්තවලට සීමා කළ නොහැක්කකි. ශ්‍රී ලංකාව ඇතුළුව දිගු ඉතිහාසයක් ඇති ගොවිජන උරුමයක් ඇති රටවල මෙය පොදු සත්තාවකි.

ගොවිතැන යනු හුදු ජීවන කර්මාන්තයක්ම නොව ජීවන ශික්ෂාවකි. පෝෂණය, කායික මානසික සුවතාව සහ ප්‍රබෝධනය එහි ප්‍රතිපලයි. මේ නිසා ගොවිතැනෙහි යෙදෙන්නන් සුවිශේෂ පිරිසක් ලෙස සමාජ සම්මතයක් පවතී. කරුණු එසේ වුවද ආකල්ප වර්ධනය නොසලකා හරිමින් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයකට බර වූ රටක ගොවිතැන හා ගොවියා දෙවැනි පන්තියෙහි ලා සැලකෙන සමාජ චින්තනයක් ඇති වේ. වත්‍මනෙහි මෙරට ඇති වෙමින් තිබෙනුයේ එබඳු තත්වයකි.

ගොවිතැන අත නෑර විශාල කැප වීමක් කරන ගොවියා පිළිබඳ සමාජ අවධානය අඩු වන්නේ එම හේතුව නිසාය. මේ නිසා ගොවියා ආපදාවලට මුහුණ දෙන විට එය බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත් නොවී යට යයි. වගා හානි නොලැබීම පිළිබඳ වේදනාත්මක චෝදනා හැම වසරකම ඇසෙයි.

මේ තත්ත්වය සම්ර්ණයෙන්ම කනපිට ගසන තීන්දුවක් රජය විසින් ගනු ලැබ තිබේ. මෙවර යළ කන්නයේ පටන් බෝග වර්ග 6ක් සඳහා ගොවීන්ගෙන් කිසිදු අයකිරීමකින් තොරව ගොවි රක්ෂණ මුදල් නොමිලේ ලබාදීම එම තීන්දුවයි.

වී, බී ලුනු, අර්තාපල්, බඩ ඉරිඟු, සෝයා බෝංචි සහ සහ මිරිස් යනු එම බෝගයි. මේවා ගොවියාගේ ආර්ථිකයට කෙළින්ම බලපාන බෝග බවට විවාදයක් නොමැත.

වගා හානියකදී අක්කරයකට රුපියල් 40,000 බැගින් හෙක්ටයාර් එකකට රු.100,000ක මුදලක් මෙසේ ලබාදීම ශ්‍රී ලංකා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් සිදු කෙරේ. වඩාත්ම වැදගත් වන්නේ තීන්දුව සහ ක්‍රියාකාරිත්වය අතර සුපුරුදු ලෙස දිගු පරතරයක් නොතබා මේ වන විටද නියමිත බැංකු වෙත රුපියල් මිලියන 5228 ක මුලදක් යවා තිබීමයි.

මෙකී බෝග වර්ග හය වගා කරන ගොවීන් කෘෂිකර්ම හා ගොවිරක්ෂණ මණ්ඩලයෙන් සහතික පත්‍රයක් ලබාගත යුතුය. කෘෂිකර්ම ඇමති මහින්ද සමරවීර මහතා මේ වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරීම සඳහා මැදිහත් වී ඇත. 2018 වර්ෂයේ වගා හානි වෙනුවෙන් මේ වන විටද රුපියල් මිලියන 145.57ක් ගෙවා තිබේ.

වත්මන් ආණ්ඩුව ගොවි ජනතාවගේ යහපත වෙනුවෙන් කර ඇත්තේ කුමක්දැයි ප්‍රශ්න කරන ඊනියා ජාත්‍යාලකාරයන්ට මෙය හොඳ පිළිතුරකි.

මහවැලි ව්‍යාපාරයේ කුටප්‍රාප්තිය වන මොරගහකන්ද ජලාශය විවෘත කිරීම,කළු ගඟ ව්‍යාපාරය, වැව් දෙදහසක් පිළිසකර කිරීම, කාබනික ගොවිතැනට අනුබල දෙමින් කෘෂි රසායන භාවිතය කළමනාකරණය කිරීම යනාදී වශයෙන් ගොවි ජනදිවිය සුඛාත්මක කිරීමට බලපාන කර්තව්‍යයන් රැසක් ඉටු කර ඇතත් පසුගිය රජය මෙන් දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘති සඳහා ජනතා මුදල් අවභාවිත කිරීමේ පිළිවෙතක් අනුගමනය නොකරන හෙයින් විසූකදස්සන වලට හුරුවී සිටි අයට මෙය නොදැනේ.

කිසිදු සීමාවකින් තොරව ලබා දුන් ඊනියා පොහොර සහනාධාරය පමණක් මන්තරයක් සේ මැතිරීම ඇතැම් පාර්ශ්වවල ස්වභාවයයි.

මේ අනුව බලන විට වගා හානියකින් පසුව සෑහෙන කලක් යන තුරු පිළිසරණක් නොමැතිව ළතවනු වෙනුවට සැනසුම් සුසුමක් හෙළීමට මෙරට ගොවීන්ට අවස්ථාවක් ලැබී ඇති බව කිව යුතුය.

මාතෘකා