සෙනඟ සහ මැතිවරණ

සෙනඟ සහ මැතිවරණ

දේශපාලනය යනු බල අරගලයකි. මැකියාවෙලී 'කුමාරයා' හි ලියූ පරිදි එය බලය ලබාගැනීමට අරගල කිරීම, බලය ලබාගැනීම, බලය පවත්වාගෙන යාම වැනි බල ක්‍රියාන්විතයකි. ඒ උදෙසා නොයෙක් උපාය, උපක්‍රම භාවිත කිරීම දේශපාලන සංවිධානවල අනවරත ක්‍රියාදාමයකි. චිරාත්කාලයක් තිස්සේ එය දේශපාලනයේ අත්‍යන්ත ස්වභාවයකි. පෝස්ටර්, අත්පත්‍රිකා, දැන්වීම්, පෙළපාලි මැතිවරණ සමග සහසම්බන්ධ කාරණාය. කරුණු කාරණා කෙසේ වෙතත්, මැතිවරණ රැළි සහ සෙනඟ මෙරට සමාජය තුළ මුල්බැසගෙන ඇත්තේ 'ජනප්‍රිය' අර්ථකතනයකිනි. කිසියම් රැළියක් සඳහා පැමිනෙන සෙනඟ අතිමහත් උජාරුවකින් උලුප්පා දක්වමින් සමාජගත කිරීමට වෑයම් කරනුයේ 'මැතිවරණය ජයගන්නා හෝ පරාජය වන' නියැදියය. එහෙත් ඒ වූකලී හුදු භ්‍රමයක් පමණක් බවට උදාහරණ ඕනෑ තරම් ගත හැකිය.   

77 මහ මැතිවරණය වන විට එක් අතකින් එක්සත් ජාතික පක්ෂයත් අනෙක් අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දැවැන්ත ජන හමු පැවැත්වීය. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රැළිවලට සේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රැළිවලටද උතුරන්නට සෙනඟ පැමිණියහ. කවුරුන් දිනාවිදැයි සිතාගත නොහැකි තරමට රැළිවල සෙනඟය. එහෙත් එජාපය මැතිවරණය ජයග්‍රහණය කළේ හයෙන් පහක බලයක් ලබාගෙනය. දෙවැනි ජනාධිපතිවරණය අවස්ථාවේ මෙරට සමාජයේ තිබුණේ රැස්වීමක් තබා දැන්වීමක්වත් ප්‍රදර්ශනය කළ නොහැකි වාතාවරණයකි. භීෂණයේ හස්තය රට පුරා ව්‍යප්තව පැවැතිණ. අපේක්ෂකයින් ජනහමු ඇමතුවේ 'යකඩ කටට' පිංසිදු වන්නටය. රැළිවලට මිනිස්සු පැමිණියේ නැත. එහෙත් රණසිංහ ප්‍රේමදාස මැතිවරණය දිනුවේය. සෙනඟ පෙන්වූ තරමට ඡන්ද දිනන්නට නොහැකි බවට ආසන්නම උදාහරණය ගත හැක්කේ ඉකුත් ජනාධිපතිවරණයෙනි. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැළිවලට සෙනඟ රැස් කළේ දස දහස් ගණනින්ය. ඇතැම් රැළිවලට ලක්ෂයක පමණ සෙනඟක් රැස්කොට තිබිණි. අනුරාධපුරයේ පැවැත්වූයේ එවැනි රැළියකි. එවක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ මංගල ජනරැළිය අනුරාධපුරයේදී පැවැත් වූ අතර ඊට ලංගම බස්රථ 1,200ක සංඛ්‍යාවකින් ජනතාව කැඳවා තිබුණි. ඒ අනුව ඒවා ජනරැළිවලට එහා ගිය බස් රැළි බවට පත්ව තිබුණි. අනුරාධපුර එම රැස්වීම් භූමියේදී ජනතාව තෙරපීමට ලක්වීම හමුවේ 6 දෙනෙක් පමණ ක්ලාන්තව සිහිසුන් වූහ. ඊට පෙර 2009 දකුණු පළාත් සභා මැතිවරණ සමයේදී මැදමුලන දන්සල් භූමියේදී බත් පැකට් ලබාගැනීමට ජනතාව පොරකෑමේදී පෑගීමෙන් එක් අයෙක් මියගියේය. එහෙත් ප්‍රතිපලය වූයේ අනුරාධපුරය මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමය.   

තත්ත්වය එසේ වුවද බොහෝ විට තවමත් සමහරු 'සෙනඟ' පෙන්වා මැතිවරණ ප්‍රතිඵල අනුමාන කිරීම සිදු කරති. විශේෂයෙන්ම ස්වකීය දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාත්මක මාධ්‍ය, මැතිවරණ රැළිවල සෙනඟ පෙන්වීමට දන්නා සියලු උපක්‍රම භාවිත කරයි. ඇතැමුන් මේ රැළිවලට සහභාගි වන්නේ සිය කුඩා දරුවන්ද කරපින්නාගෙනය. එයින් සිදු වන පීඩාව ගැන තැකීමක් නොකරන ඔවුහු රැළිවලට එක්වෙති. බොහෝ රැළි සඳහා සෙනඟ ගෙන්වීමේ ක්‍රියාන්විතය 'කුඩා ප්‍රමාණයේ' යුද්ධයක් තරමේ කටයුත්තකි. බස් යොදවා සෙනඟ කැන්දවා, බත් පැකැට් පිරිනමා, බොන අයට ඒ අඩුවැඩියද සපයා 'සූර්' වූ පිරිසක් උන්මාදයෙන් මෙන් ගෙන්වීම සුලබව සිදුවන්නකි. සවිඥානිකව රැළියක සිටින්නන් සොයාගත හැක්කේ දුලබවය. ඒ අනුව බොහෝ දෙනෙකුට රැළිවලට සහභාගී වීම 'ආතල්' ගැනීමකට යාමක් වැනිය. හිට්ලර් ජර්මනියේ සිටි ආඥාදායකයෙකි. ඔහුගේ රැළිවලට සෙනඟ පැමිණියේ ලක්ෂ ගණනින්ය. එමතු නොව ඔහුට උන්මාදයෙන් මෙන් 'ආදරය' පෙන්වන කෘත්‍රිම 'රටාවක්' හිට්ලර්ගේ මාධ්‍ය විසින් ගොඩනංවා තිබිණි. එහෙත් තීරණාත්මක මොහොතක හිට්ලර්ගේ 'ආධිපත්‍යය දියවී ගියේය. කෘත්‍රිම මවාපෑම්වල අවසානය එබඳුය. රැළිවලට සහභාගි වීම, දේශපාලනික කාරණා පිළිබඳව දැනුම්වත් වීම වරදක් හෝ ගැටලුවක් නොවේ. එහෙත් රටක පාලන තන්ත්‍රය වෙනස් කරනුයේ හෝ බිහි කරනුයේ උන්මාදයෙන් රැළිවලට යන මිනිසුන්ට වඩා, කල්පනාකාරීව තීන්දු ගන්නා මිනිසුන්ය. 2015 වසරේ සිදු වූයේ එවැන්නකි.

මාතෘකා