වතුකරය නිදහස්ද?

වතුකරය නිදහස්ද?

මෙරට ජීවත් වන ඉන්දීය සම්භවයක් සහිත, ආසන්න වශයෙන් පහළොස් ලක්ෂයකට අධික වතු දෙමළ ජනයාට තම ලියාපදිංචිය, තහවුරු කිරීමට ලිපිනයක් නොමැති වීම තුළ මතුව ඇති දුෂ්කරතා පිළිබඳව අපි ඊයේ (29) “රැස” ප්‍රධාන පුවතින් අනාවරණය කළෙමු. ඩිජිටල් යුගයක් පිළිබඳ උස් හඬින් කතා කරමින් සිටින යුගයක මෙවැනි ප්‍රවෘත්තියක් අසන්නට ලැබීම පවා එක් අතකින් පුදුමයට කාරණයක් විය හැකි වුවද, තිත්ත වුවත් ඇත්ත එයයි. වසර සිය ගණනක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජීවත් වුවද තවමත් වතු දෙමළ ජනතාව කෙතරම් අවවරප්‍රසාදිත මට්ටමක පසු වනවාද යන්න පෙන්වීමට මීටත් වඩා තවත් සාක්ෂි අවශ්‍ය නොමැති තරම්ය. ආර්ථීක, සමාජීය, දේශපාලන ආදී සෑම ක්ෂේත්‍රයකදීම එම දුගී බව නොඅඩුව දැකගත හැකිය.  

වතුකරයේ දෙමළ ජනතාව දිළිඳුය. දුප්පත්ය. නව ලෝකයක් පිළිබඳ ඔවුන් තුළ ඇත්තේ අඩු විශ්වාසයකි. අධ්‍යාපනය, සෞඛ්‍යය සහ වෙනත් මූලික අවශ්‍යතා ඔවුන් වෙත ළඟා වනුයේ ඉතා සෙමිනි. ඔවුහු වෘත්තීය වශයෙන් බෙදී කණ්ඩායම් ගැසී සිටිති. වතුකරයේ ඔවුන්ට හිමි රැකියා අවස්ථා කුළී රස්සා පමණකි. ඉහළ රැකියා දෙවැනි, තුන්වැනි පරම්පරාවලට හිමි නොවන තරම්ය. මේ ජනතාවගෙන් සාතිශය බහුතරයක් අදටත් ජීවත් වනුයේ යටත්විජිත සමයේ ඉදි කළ ලැයිම් කාමරවලය. ලැයින් කාමර යනු වතුකරයේ දුක්ඛිතභාවයේ ලාංඡනයයි. වත්තේ ඉඩමක ලැයිමකට කොටු වුණු ඒ ජීවිත ඉන් එපිටට රැගෙන යන වැඩපිළිවෙළක් මේ දක්වාම ක්‍රියාත්මක වී නැත.  

කනකපුල්ලේලා හා පෙරියදොරේලා වත්තේ තේ දල්ලක් ලෙස කල්පනා කරමින් අහිමි කළ ඔවුන්ගේ ගෞරවය, සමාජ හිමිකම තවමත් ඔවුනට ලැබී නොමැත. පන්ති සාධකය වතුකරයේ උපරිමයට දැකගත හැකි අතර බොහෝ නායකයන් එය වතුකරයේ අනන්‍යතාව ලෙස සලකන බවත් පෙනෙන්නට ඇත.  

නිදහස හිමිකරගෙන හැත්තෑ වසරක් සම්පූර්ණ කරන මොහොතේ රටේ සහෝදර ජනතාවක් ලෙස වතු දෙමළ ජනතාව මුහුණදෙමින් සිටින්නා වූ මෙම ගැටලු පිළිබඳව අප කනගාටු විය යුතුය. කනගාටුවට වඩා එය ලැජ්ජා විය යුතු තත්ත්වයකි. පසුගිය දශක හතක කාලය තිස්සේ ඔවුන්ට නායකත්වය දුන් වෘත්තීය සමිති, සංවිධාන හා දේශපාලන පක්ෂ සොයා බැලුවේ වෘත්තීය ප්‍රශ්න පමණක් වූ අතර සෙසු කාරණා ඔවුන්ට වැදගත් නොවීය. වතුකරයේ ජනතාවගේ ඡන්ද කුට්ටිය වෙන්දේසි කරමින් පටු දේශපාලන සූදුවක නිරත වුණු හා තවමත් නිරත වෙමින් සිටින ඔවුන්ට ප්‍රජාවක් ලෙස වතු දෙමළ ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු හුදු කටගැස්මකට වඩා වැඩි දෙයක් නොවීය. එබඳු සන්දර්භයක් තුළ නිදහසේ අටවැනි දශකයට පිවිසෙන මේ මොහොතේ වතු දෙමළ ප්‍රජාවගේ සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු පිළිබඳ දැනට වඩා සාධනීය මැදිහත්වීමක් වගකිවයුතු පාර්ශ්ව වෙතින් සිදුවීම අනිවාර්ය යුතුකමකි. 

මාතෘකා