හිපොක්‍රටීස්ට හිනා යන වැඩ

හිපොක්‍රටීස්ට හිනා යන වැඩ

බුදුන් වහන්සේ වරක් ලංකාවට වැඩම කළේයැයි සැලකෙන්නේ පුටුවක් බෙදා ගන්නට නොහැකිව මාරාන්තික අරගලයකට මැදිව සිටි 'නා රජවරු' දෙදෙනෙකුගේ 'පුටු ගැටුම' සංසිඳවා ලන්නටය. එහෙම බැලූ කල 'පුටු'වලට ගුටි ඇන ගැනීම්, මරා ගැනීම්, වැව් බැමි වලට තබා පස් ගැසීම් ඉතිහාසගතව එන සිදුවීම්ය. එහෙම බැලූ කල 'ගුටි කෙළි' සාමාන්‍යයෙන් මෙරට සංස්කෘතිකාංගයක් තරමට වර්ධනය වූවකි. එළිමහන් සංගීත ප්‍රසංගයක් හමාර වන්නේ අඩු තරමේ හතරපස් දෙනෙකු රෝහල් ගතව තවත් හත්අට දෙනෙකු පොලිස් කූඩුවට දැමීමෙන් අනතුරුවය. ක්‍රීඩා තරගයක් හමාරවෙද්දීත් ගුටි ඇන ගැනීම් සේම සමහර ක්‍රීඩකයින් 'අතුරුදන්' කිරීම්ද සිදු වූ ඉතිහාසයක් අප සතුය. ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණවලදීත් මේ ගුටි කෙළි සිදුව තිබේ. මැතිවරණවලදීත් 'ගහ මරා ගැනීම්' සුලබය. 'බලය' ලබා ගැනීමත් එය තහවුරු කිරීමත්, පවත්වාගෙන යෑමත් උදෙසා කරන අනවරත අරගලය හරි අපූරුවට ක්‍රියාත්මක කරන ස්වභාවය මෙරට සියලු ක්ෂේත්‍ර අරභයා පැතිර පවත්නා යථා ස්වභාවයකි.   

මෑතදීම 'පුටු' වෙනුවෙන් ගුටි ඇන ගැනීමේ කතාව වාර්තා වූයේ පසුගිය 23වැනිදාය. ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට දීය. ගුටි ඇන ගත්තේ වෛද්‍යවරුන්ය. රටක පැවැත්ම උදෙසා විවිධ වෘත්තීන්හි නියැලෙන්නන් සියලු දෙනාම කරනුයේ අත්‍යන්තයෙන්ම අත්‍යවශ්‍ය මෙහෙවරකි. ඒ ගැන දෙගිඩියාවක් හෝ තර්කයක් නැත. ඒ සියලු වෘත්තීන් අතර වෛද්‍ය වෘත්තිය සුවිශේෂී වෙයි. මන්ද ඒ වෘත්තිය මිනිස්සුන්ගේ 'ජීවත් වීම' යන කාරණය සමඟ බැඳී පවතින හෙයිනි. එහෙම බැලූ කල වෛද්‍යවරුන් සුවිශේෂී ස්ථානයක සිටින බව අවිවාදයෙන් පිළිගැනෙන කරුණකි. පැරැණි ජනසමාජයේ වෛද්‍යවරුන් දේවත්වයෙන් සැලකිණි. බුද්ධකාලයේ 'ජීවකලා' සැලකුවේ 'උතුම්'කොටය. මෙරට විසූ 'බුද්ධදාස රජු සතා සිවුපාවාට පවා වෙදකම් කළ ශ්‍රේෂ්ඨ රජෙකි.   

චිරාත් කාලයක් මුළුල්ලේ මේ රටේ දෙමාපියන් සිහින දකිනුයේ ස්වකීය දරුවා වෛද්‍යවරයෙකු කිරීමටය. එහෙම බැලූ විට වෛද්‍ය වෘත්තීය යනු 'සිහින වෘත්තියකි.' බුද්ධිමය ශක්තියේ ඉහළින් සිටින්නෝ එහි නියැලෙන අතර විනය සහ හික්මීම අතින්ද ඔවුහු 'නිපුණ' වෙති. අවාසනාවට පසුගියදා දෙනෝදාහක් ඉදිරියේ ගුස්ති අල්ලා ලේ හලාගෙන රෝහල්ගත වන්නේත් එහෙව් හික්මුණු වෘත්තිකයෝය.   

එකී ගුටි ඇන ගැනීම 'රැස' ඊයේ (25) සිය ප්‍රධාන පුවත ලෙස වාර්තා කළේය.   

'‘රෝහල් එපා’ යන්න ප්‍රංශ විප්ලවයේ ප්‍රධාන තේමාවක් විය. ෆුකෝ පෙන්වා දෙන පරිදි රෝහල යනු නූතන බලසම්බන්ධතා ක්‍රියාත්මක වන ශික්ෂණ ආයතනයකි. එහෙත් මිනිස් වර්ගයා සුවපත් කිරීමත්, මංචපරායනව සිටින මිනිසාට මොහොතක් හෝ ජීවත් වීමට පණ පෙවීමත් කරන්නේ වෛද්‍යවරයාය. වෛද්‍ය වෘත්තිය අද වනවිට 'තවත් එක් රස්සාවක්' පමණක් වන තැනට පත්ව ඇත්තේ අවාසනාවන්ත ලෙසය. සමාජයේ ප්‍රශස්ත ප්‍රතිරූප සහිත වෛද්‍ය වෘත්තිය කෙලෙසා ගැනීම හෝ ඔසවා තැබීම ඔවුන්ගේම කාරියකි.  

මාතෘකා