දඟර නැටුම

දඟර නැටුම

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ලෝක දේශපාලන ප්‍රවනතාවේ නියෝජිතයාය. ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපතිවරයාය. රට තුළත් ලෝකය තුළත් ප්‍රශ්නපිට ප්‍රශ්න ඇතිකර ගනිමින් සිටින්නෙකි.  

ඔහු බලයට පත්වී දැනට වසරක් ගෙවී ගියා පමණි. ඔහු බලයට පත්වූයේ නීත්‍යානුකූලවය. එහෙත් එක්සත් ජනපද සමස්ත ඡන්ද සංඛ්‍යාවේ බහුතරය ඔහුට නොලැබුණි. ඔහු වටා ගොඩනැගුනේ එක්සත් ජනපද පාදඩ ස්ථරයේ ශක්තියයි. ඒ වටා ඇමෙරිකන් ස්වෝත්තමවාදය ද යහමින් එක්විය. අද වනවිට ට්‍රම්ප් ප්‍රායෝගිකව ඔප්පුකර ඇත්තේ ස්වොත්තමවාදයේ හා පාදඩ මතවාදයන්ගේ අසාර්ථකත්වයයි. ඒ නිසා පසුගිය දින තුනක් එක්සත් ජනපද රජය වසාතැබීමට සිදුවිය. ඊට හේතුව වූයේ අලුත් අයවැය යෝජනාව සෙනෙට්  සභාව විසින් අනුමත නොකිරීමයි.   

ලෝකය පුරා සිටින ස්වෝත්තමවාදීහු ද ඔහු බලයට පත්වීමේ දී අතිශයින්ස තුටට පත්විය. බොහෝ දෙනෙක් සිතුවේ ඔහු ජාතිකවාදියකු ලෙසය. එහෙත් ඇමරිකන් ජාතිකවාදය නියෝජනය කරනවාට වඩා ඇමරිකන් ස්වෝත්තමවාදයෙන් ණයට ගත් හැඟීම්බර සටන්පාඨ මත ඔහු කටයුතු කරයි. එනිසා සමස්ත නව ලිබරල්වාදී ක්‍රමයටම ඔහු හිසරදයක් වෙමින් තිබේ. ගිය දෙසැම්බරයේ පැවැති එක්සත් ජාතීන්ගේ ඡන්ද විමසීමක දී ද ඔහුට එල්ල වූයේ බලවත් තර්ජනයකි. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණයට එරෙහිව ගෙනා යෝජනාවට පක්ෂව රටවල් 128ක් එක පෙළට සිටගත්හ. එය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කම්පනයට ලක් කිරීමට හේතු විය. ඊයේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි ආරම්භ වීමට නියමිතව තිබූ ලෝක ආර්ථික සමුළුවේ දී ද ට්‍රම්ප්ට බලවත් විරෝධයක් එල්ල කරන්නට විය. ඔහුගේ සම්ප්‍රාප්තියට එරෙහිව 17,000කට අධික පිරිසක් පෙත්සමක් අත්සන් කර භාරදීමට නියමිතව තිබුණි.  

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හැසිරෙන්නේ එසේය. ඒ හැසිරීමට ලෝකයා ප්‍රතිචාර දක්වන්නේත් එසේය. අප වැනි කුඩා රටවලට තියෙන්නේ මේවා දෙස බලා සිටිමින් නරඹන්නටය. නරඹා මෙවැනි ලිපි ලිවීමටය. ඉන් ඔබ්බට ඒවා මත විදේශ ප්‍රතිපත්තිය තීන්දු කරන්නට යෑම මෝඩකමකි.  

මේ යුගයේ ලෝකයම එක යායකි. ජාතික රාජ්‍ය අවලංගු වෙමින් තිබේ. කුඩා රටවලට අනන්‍යතාවක් නොමැත. ඒ නිසා කුඩා රටවල් විදේශ ප්‍රතිපත්තිය තීන්දු කළ යුත්තේ පරමාදර්ශය මත නොවේ. එය උපයෝගීතාව මත තීන්දු කළ යුතුය. සීතල යුද සමයේ මෙන් ලෝකයා හසුරවන බල කේන්ද්‍රයන් දෙකක් දැන් නොමැත. සීතල යුද සමය අවසන් වූ වහා මෙන් ලෝකයා හසුරවන එක් තනි බල කේන්ද්‍රයක් ද දැන් නොමැත. ලෝකයා තුළ දැන් බල කේන්ද්‍රයන් කිහිපයක් පවතී. එනම් ලෝකෙට ලොක්කන් කිහිපදෙනෙක් ලෝකයේ සිටී. මහජන චීනය එක් බල කේන්ද්‍රයකි. ඉන්දියාව වර්ධනය වෙමින් පවතින බල කේන්ද්‍රයකි. මේ ලොක්කන් දෙදෙනාම ආසියානු රටවල්ය. අප අපේ විදේශ ප්‍රතිපත්තිය පදනම් කරගත යුත්තේ මේ බල කේන්ද්‍රයන් අනුවය. ලෝකය පුරා බල කේන්ද්‍රයන් කිහිපයක් තිබීම ද අප වැනි කුඩා රට වලට වාසි සහගතය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හැසිරීම් අපි බලා සිටිමු. ඒවා අපි අධ්‍යයනය කරමු. එහෙත් ලෝකයා සමඟ අප ගනුදෙනු කළ යුත්තේ අපේ කලාපයේ බලවතුන් සමගය.  

එහිදී මහජන චීනය මෙන්ම ඉන්දියාව ද අපේ මිතුරු රටවල් විය යුතුය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දඟර නැටුම් අපට බලනොපානු ඇත්තේ එවිටය.

මාතෘකා