වෙනස තමාම වන්න

වෙනස තමාම වන්න

බෝ නොවන රෝගීහු ක්‍රමයෙන් වැඩි වෙති. අවශ්‍ය ව්‍යායාම ශරීරයට නොමැතිවීම ඊට හේතුවකි. මේ නිසා ගිය වසරේදී පමණක් 137,000ක් මිය ගොස් ඇත. මෙය බරපතළ සමාජ ප්‍රශ්නයකි. එමෙන්ම බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයකි.

බෝ නොවන රෝග යනු හෘදයාබාධ, දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගයන්ය. ඒවා වැල‍ඳෙන්නේ අයහපත් සෞඛ්‍ය පුරුදු නිසාය. ආහාර භාවිතය අධික වීම, ලුණු හා සීනි වැනි දෑ අඩංගු ආහාර භාවිතය අධික වීම, රසායනික රසකාරක දෑ අඩංගු ආහාර භාවිතය අධික වීම වැනි කරුණු මීට හේතු වේ. එසේම ශරීරයට අවශ්‍ය නිසි ව්‍යායාම නොමැති වීමද මෙවැනි රෝගාබාධ වැලඳීමට හේතු වේ.

ලාංකික සමාජය අතීතයේ පැවතුණේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. සමාජ සංවර්ධනයත් සමග මේ තත්ත්වය වෙනස් වුණි. දැන් ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයේ කෘෂිකර්මාන්තයට ලැබෙන ආංශික දායකත්වය 7.8%ක් පමණි. දළ ජාතික නිෂ්පාදිතයෙන් ඉතුරු 92.2% ටම දායකත්වය ලබා දෙන්නේ කාර්මික හා සේවා අංශයයි. කාර්මික හා සේවා අංශයේ ඉහළ යෑම සුදු කරපටි රැකියාලාභීන්ගේ ඉහළ යෑමට හේතුවකි.

කායික මහන්සියකින් තොරව මුදල් ඉපයීම සමාජ ව්‍යසනයකට හේතු වන තත්ත්වයකි. එහෙත් එය සෞඛ්‍ය ප්‍රශ්නයක්ද වෙමින් මිනිසුන් රෝගීන් වීම කනගාටුදායකය. අපේ සමාජයේ කායික මහන්සිය නොලබන ජන කොටස වැඩි වීමට සමාන්තරව බෝ නොවන රෝගීන් වැඩි වන්නේ එබැවිනි.

ව්‍යායාම් මං තීරු ඉදි කිරීම හා කායික සුවතා මධ්‍යස්ථාන වැඩි වැඩියෙන් ඉදි කිරීම පමණක් ප්‍රශ්නයට විසදුම් නොවේ. ඒවා ඉදි කර ජනයා ව්‍යායාම සඳහාද යොමු කළ යුතුය. එහෙත් ව්‍යායාම් මං තීරු හා කායික සුවතා මධ්‍යස්ථාන භාවිත කිරීම නුතන මධ්‍යම පන්තියේ විලාසිතාවක් පමණි. ආකර්ෂණීය ශරීර නිර්මාණය කර ගැනීම වෙනම කාරණාවකි. එහෙත් ව්‍යායාම් සහිත ජීවන විලාසිතාවක් හදුන්වා දීම තවත් කාරණාවකි.

සංකේතාත්මකව හා විලාසිතාවක් ලෙස ව්‍යායාම් අර්ථ විරහිතය. මිනිසුන්ට ව්‍යායාම් කිරීමේ භාවිතාවක්ද ජීවන විලාසිතාවක්ද තිබිය යුතුය. අතීත සිංහලයා සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ආරක්ෂා කර ගත්තේ ව්‍යායාම ජීවිත භාෂිතයක් හා ජීවන විලාසිතාවක් ලෙස පුරුදු කර ගත් බැවිනි. ඔවුන්ගේ රැකියාවම ව්‍යායාම් කිරීමක් විය. එනිසා විශේෂ ව්‍යායාම් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනැගුණි.

සමාජයේ බහුතරය යෙදී සිටින්නේ කාර්මික අංශයේ හෝ සේවා අංශයේ හෝ රැකියාවල නම් ඊට අනුකූලව තමන්ගේ ජීවන විලාසිතාව සකස් කර ගැනීමට සමාජය දැනුවත් විය යුතුය. උදාහරණයකට අද සුළු දුරක ගමනක් යෑමට වුවද බොහෝ දෙනකු යොදා ගන්නේ තුන් රෝද රථ ය. කාලගුණික අපහසුතා මැද අවිවේකී ජීවිතයක් ගත කරන කෙනෙකුට එසේ කරන්නට සිදු වේ. එහෙත් තමන් ගමන් බිමන් යන්නේ වාහනයෙන් බව සමාජයට පෙන්වීම සඳහාද සමහරු අඩියක දෙකක ගමනට තුන් රෝද රථ භාවිත කරති.

සාමාන්‍යයෙන් ලංකාවේ ගමනාගමනය සඳහා වැඩියෙන්ම පා පැදි භාවිතා කරන්නේ යාපනයේය. අනෙක් ප්‍රදේශයන්හි එවැනි පුරුද්දක් නොමැත. ඒ  කියන්නේ යාපනයේ ජනතාව ජීවන විලාසිතාවක් ලෙස ගමනාගමනයට පාපැදි භාවිතා කරන බවකි. සමාජයේ සියල්ලන්ටම අවශ්‍ය වන්නේ එවැනි ජීවන විලාසිතාවකි. එවැනි ජීවන භාවිතයකි.

බෝ නොවන රෝග බොහෝ විට වැලඳෙන්නේ සමාජයේ මැද පන්තිය‍ටය. සමාජ හීනමානයෙන් පෙළෙන්නේද මේ මැද පන්තියමය. මැද පන්තියේ ආකල්පමය වෙනසක් සිදු කරන තාක් බෝ නොවන රෝග ව්‍යාප්තිය අවම කළ නොහැක.
‘තමන් දකින සමාජ වෙනස තමාම වෙන්නැ’යි මහත්මා ගාන්ධි පවසා තිබේ.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?