මත්පැන් හා කාන්තා සංවිධාන

මත්පැන් හා කාන්තා සංවිධාන

අපේ සමාජයේ සමහර කාන්තාවෝ මත්පැන් පානය කරති. නමුත් සමහර කාන්තාවෝ මත්පැන් පානය නොකරති. මත්පැන් පානය කිරීම හෝ පානය නොකිරීම හෝ එකිනෙක කාන්තාවන්ගේ සංස්කෘතික ලක්ෂණයකි. එය සදාචාරමය අර්ථයෙන් විවේචනය කිරීම අගති සහගත වේ.   

කාන්තාවන් මත්පැන් පානයට යොමු වීම විවිධ සාධක මත තීරණය වන්නකි. සමහර විට එය සමාජයේ පන්ති ස්වභාවය මත තීන්දු වේ. සමහර විට රැකියාවේ ස්වභාවය මත තීන්දු වේ.
සමහර විට වෙනත් සාධකද ඊට බලපාන්නට හැකිය. කෙසේ වුවත් බහුතරයක් ඊට යොමු වන හේතුව සමාජයේ පන්ති ස්වභාවය බව නොරහසකි.   

මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලෝකය තුළ ඇත්තේ අවලස්සන නමකි. එය රටක පුරවැසියන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් බැරෑරුම්ව සලකා බැලිය යුතු ප්‍රශ්නයකි. නමුත් මත්පැන් සම්බන්ධයෙන් අපේ සමාජයේ පිරිමින්ට තිබෙන අයිතිය සදාචාරාත්මකව කාන්තාවන්ට නොමැත. එය පුළුල්ව සලකා බැලිය යුතු විවාදාත්මක කාරණාවකි.   

කළින් ප්‍රකාශ කළ පරිදිම අපේ සමාජයේ විවිධ සාධක මත සමහර කාන්තාවෝ මත්පැන් භාවිත කරති. එසේම සමහර කාන්තාවෝ මත්පැන් භාවිතා නොකරති. එහෙත් කාන්තා අයිතියක මුවාවෙන් කොළඹ කේන්ද්‍රීය අග නාගරිකයේ සිවිල් කාන්තා චරිත මේ ප්‍රශ්නය දෑතින් බදාගැනීම උත්ප්‍රාසජනකය.   

මහා රුධිර ගංගාවක් ගැලූ යුද සමයේ දී යුද ගම්මානවල පිරිමින් ග්‍රාමාරක්ෂකයන් බවට භෞතීස්ම කර ගම රැක ගැනීමට බංකරවල රාජකාරී කරන්නට බල කෙරිණි. එකල ගමේ කාන්තාවන්ට අස්වාමිකයන් සමග රැය පහන් කිරීමට සිදු වූයේ යුද්ධයේ නාමයෙනි. එවිට තම බිරිඳ ආරක්ෂා කර ගන්නට තරම් පෞරුෂයක් ස්වාමියාට ඉතුරු වී නොතිබුණි. ඒ යුද සංස්කෘතිය සූරගෙන කෑවේ යුද ගම්මානයන්හි කාන්තාවන්ගේ ශරීරය පමණක් නොවේ. ඒ කාන්තාවන්ගේ අසරණ වූ ස්වාමිවරුන්ගේ පෞරුෂයද සූරාගෙන කෑවේය.  

ඒ අසාධාරණයට මැදිහත් වන්නට නොහැකි වූ කොළඹ අග නාගරිකයේ සුකුමාල සිවිල් කාන්තා සංවිධාන කාන්තා අයිතියේ නාමයෙන් මේ ප්‍රශ්නයට අත ලෑම තක්කඩිකමකි. ඔවුන් සමාජයට ප්‍රකාශ කරන්නේ කාන්තාවන්ගේ සම අයිතිය අහිමි වීම නිසා මීට මැදිහත් වන බවකි. එහෙත් ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතික කලාපවල මිනිස් හැසිරීම සම්බන්ධයෙන් තාර්කික අවබෝධයක් නැතිව මීට මැදිහත් වීම සිනහ උපදවන්නකි.   

මේ කාන්තා සංවිධානයන්ට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලාංකික සමාජයේ අධිපති මතය වී ඇති පුරුෂ කේන්ද්‍රීය ආකල්ප මුළු එකක් ලෙස පරාජය කිරීමට නොවේ. ඔවුන් නිරත්තරයෙන් උත්සාහ ගන්නේ ඒ අධිපති මතයේ හිස ආරක්ෂා කරමින් අතට පයට වැර යොදා පහරදීමටය. ඒ නිසා මේ ඉර හඳ පවතිනා තෙක් පුරුෂ මූලික ආකල්ප බිඳ නොවැටේ. නමුත් කාන්තා සංවිධානයන්ගේ පැවැත්ම තහවුරු වේ.   

ලාංකික ගැමි ගොවි සමාජය සකස් වී ඇත්තේ කෘෂිකර්මාන්තය මත පදනම් වෙමිනි. පසුව එහි ආංශික දායකත්වය අවම වී සේවා හා කාර්මික අංශයන් පුළුල් වුවද සමාජයේ සංස්කෘතිය නිර්මාණය වී ඇත්තේ කෘෂි දිවි පෙවෙත මතය. එවිට පැරණි සමාජ සැකස්මේ හා පවුල් සැකස්මේ ලක්ෂණ ඉස්මතු වේ. එනිසා තවදුරටත් කාන්තාව යනු කුස්සියට සිර වූ චරිතයකට සීමා වේ. එය වෙනස් විය යුත්තකි. වෙනස් කළ යුත්තකි. එහෙත් එය කළ යුත්තේ අනෝන්‍ය අවබෝධයෙන් මිස පවුල තුළ අඬදබර ඇති කරවමින් නොවේ. කොළඹ කාන්තා සංවිධාන බොහොමයක් මේ සමාජ සැකැස්ම වෙනස් කරන්නට තැත් කරන්නේ පවුල් ආරවුල් ඇති කරවමිනි. එය කිසිසේත් කාන්තා විමුක්තියට හේතු නොවේ. 

මාතෘකා