ව්‍යාපාරික දේශපාලනඥයෝ!

ව්‍යාපාරික දේශපාලනඥයෝ!

ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂා කිරීමට හා විමර්ශනය කිරීමට පත් කළ කොමිසමේ වාර්තාව අධිකරණ තීන්දුවක් නොවේ. විමර්ශනයක් පමණි. කොමිසන් වාර්තාව තවමත් මහජනතාව කියවා නැත. ඒ ඔස්සේ ඇතිකර ගත් සමාජ සංවාදයේ අඩුපාඩු බොහෝය. කෙසේ ‍වෙතත් දේශපාලඥයින් හා ව්‍යාපාරිකයින් අතර ඇති සමීපස්ථ සම්බන්ධතාව පිළිබඳ අඳුරු කලාපයක් මේ තුළ රටට විවෘත වෙමින් පවතී.

රටේ ව්‍යාපාරිකයින් ප්‍රධාන ධාරාවේ දේශපාලඥයින් සමඟ පවත්වන සම්බන්ධතා නිල්, කොළ, රතු භේදයකින් තොරව සියලු දෙනාට පොදු තත්ත්වයකි. පශ්චාත් නිදහස් යුගයක දේශපාලනය තුළ එය අඛණ්ඩව දැකගත හැකිය. රටේ අතිබහුතරයක් දේශපාලඥයින් හා දේශපාලන පක්ෂ පිටුපස සිටිමින් ඔවුන් මෙහෙයවන නූල් සූත්තර බවට මේ වන විට පත්ව ඇත්තේ ඔවුන්ට දේශපාලන බලය ලබාදෙන ඡන්ද දායකයන් නොව, මෙම ව්‍යාපාරික පැලැන්තියයි.  

මුදල් යහමින් ඇති ව්‍යාපාරිකයෝ අත දිග හැර මුදල් වියදම් කරමින් රටේ සෑම පක්ෂයක් තුළම පාහෝ තම ඒජන්තයන් පත්කරගෙන සිටිති. මේ ව්‍යාපාරිකයින් තවෙකෙකුගේ මැතිවරණයකට අතදිග හැර වියදම් කරනුයේ පින් තකා නොවේ, ලාභ සන්තාන පෙරදැරිවය. තමන් විසි කරන මුදල් මෙන් විසි තිස් ගුණයක මූල්‍ය හා අන් ප්‍රතිලාභ පෙරළා ලබාගත හැකි බව ඔවූහු හොඳාකාරවම දනිති. මේ ව්‍යාපාරිකයින් මුදල් වියදම් කරනුයේ එක පක්ෂයකට, එක දේශපාලඥයෙකුට පමණක් නොවේ. වම, දකුණ භේදය ඔවුනට අදාළම නැත. ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටද ඔවුහු කරුණාව දක්වති. ඔවුන්ට අවශ්‍ය සියල්ල තම පාලනය යටතේ තබාගැනීමය. විප්ලවවාදී යැයි කියාගනිමින් වත්මන් පාර්ලිමේන්තුවේ පවා නියෝජන හිමිකම සහිත රක්ත වර්ණ පක්ෂයක මූලස්ථානය ඉදිකිරීමේෙදී රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු ඒ සඳහා සැලකිය යුතු අනුග්‍රහයක් දැක්වූ බව ප්‍රකට කතාවකි. එසේම පැරණි වමට විකල්පයක් ලෙස බිහි වූ පක්ෂයක මැයි දින රැස්වීමක වේදිකාවක් සැරසීමට අවශ්‍ය පොලිතීන් ඒ සමයෙහි රටේ සිටි ප්‍රකට මුදලාලි කෙනෙකු සැපයූ බවට මාධ්‍ය වාර්තා පවා පළ වී තිබිණි. එබඳු ව්‍යාපාරිකයෝ ජයග්‍රහකයෝය. ඔවුන් සැමදා බලවත්ය. ධනවත්ය.  

බැඳුම්කර නිකුත්ව පිළිබඳ පරීක්ෂණ සමඟ රටේ සුපිරි තරුවක් වූ 34 හැවිරිදි අර්ජුන් ඇලෝසියස්ටද ඒ නියමය අදාළය. තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් ඔහු රාජ‍පක්ෂ පාලනය සමඟ සමීප සම්බන්ධතාවක් පැවැත්වූ බව රහසක් නොවේ. රාජපක්ෂ සමයේ මහ බැංකුවේ අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල්ගේ සොහොයුරිය වූ ශිරෝමි වික්‍රමසිංහ ඔහු පර්පචුවෙල් කැපිටල් හෝල්ඩින්ස් සමාගමේ අධ්‍යක්ෂ ධූරයට ඒ සමයෙහි පත් කිරීම ඊට පෙන්විය හැකි හොඳම නිදර්ශනයයි. පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ අයිතිය හිමිව තිබුණේ එම සමාගමටය. එසේම ඔහු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සමඟද ලාභ සම්බන්ධතා පැවැත්වූ කෙනෙකු විය. පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම කරළියට පැමිණියේ 2013 වසරේදීය. එදා නාමල් රාජපක්ෂලා එය ඔසවා ගෙන ගිය ආකාරය අද අමතක කරලීම දේශපාලන කුහකකමකට වැඩි දෙයක් නොවේ.  

රටේ දේශපාලනය සැකසී ඇති ආකාරය තුළ ව්‍යාපාරිකයන් හා දේශපාලඥයින් අතර වන මෙම සමීප සම්බන්ධතාව අරුමයකට හේතුවක් නොව ගහට පොත්ත මෙන් සමීප එකක්ය. පහසුවෙන් මඟහැරිය නොහැකි මේ සම්බන්ධතා කළමනාකරණය කර ගැනීමේ හැකියාව දේශපාලඥයින්ට තිබිය යුතු මුත් පොදුවේ ගත් විට අපේ සමහර දේශපාලනඥයින් දුර නොබලමින් ළඟ පමණක් බලමින් හැසිරීම තුළ ඒ ඇතැම් දෑ පිළිබඳව ඔවුනට නොතේරීම පුදුමයක් නොවේ.

මාතෘකා