ඡන්දදායක වගකීම

ඡන්දදායක වගකීම

පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරණ ක්‍රියාවලිය ආරම්භ වී ඇත්තේ “පැරණි සෙල්ලම්” ද සමඟිනි. පෙබරවාරි දෙවන සතියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය මෙරට දේශපාලන සංස්කෘතියේ නැවුම් වෙනසක් සනිටුහන් කරනු ඇතැයි බොහෝ දෙනා තබා තිබූ  “සුභ සිහින” සුළඟේ ගසාගෙන යාම කල්තියා පටන්ගෙන තිබේ. එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර එකාට එකා නොමැති, ජඩ සංස්කෘතියක් නිර්මාණය කළ “මනාප ක්‍රමයට” තිත තැබීමක් සිදුවුණද දේශපාලන සංස්කෘතිය සහ සදාචාරය තවමත් මෙරට තුළ මැනවින් වර්ධනය වී නොමැති බවක් පැහැදිලිව පෙනෙන්නට ඇත. ඒ තුළ දශක ගණනාවක් තිස්සේ සුපුරුදු සෙල්ලම් අත්හැරීමට ප්‍රධාන ධාරාවේ සෑම දේශපාලන පක්ෂයකම අපේක්ෂයින් සූදානම් නොමැති බව නොනවත්වා ඔප්පු කරමින් සිටිති.

ගුණාත්මකව කෙසේ වෙතත්, ප්‍රමාණාත්මකව නම්, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අතින් ශ්‍රී ලංකාව පසුවනුයේ ලොව ඉහළම අංකයක යන්නට ඉදිරි මැතිවරණය කදිම සාක්ෂියකි. සමස්තයක් ලෙස නියෝජන හිමිකම 8356ක් වෙනුවෙන් මැතිවරණ තරඟයට පිවිස සිටින මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 56000කට අධිකය. රටේ මිලියන 21ක ජනගහනය සමඟ බලන කළ පළාත් පාලන නියෝජිතයින් 8356ක් යනු විශාල ඉලක්කමක්ය. මේ 8356 දෙනාට අමතරව, පළාත් සභා මන්ත්‍රීවරුන් ලෙස හාරසිය විසිහත් දෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙසිය විසිපස් දෙනෙකු මහජන නියෝජිතයින් ලෙස කටයුතු කරති. ඒ අනුව කුමන හෝ මට්ටමින් මහජන නියෝජිතයින් නවදහස්  අට දෙනෙකු රටපුරා සිටිති. රටේ ජීවත්වන සෑම පුද්ගලයින් දෙදහස් තුන්සිය පනහකටම එක් අයෙක් මන්ත්‍රීවරයෙකි. මහජන නියෝජිතයෙකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය අතින් දියුණු යැයි සම්මත ලොව බොහෝ රටවලටත් වඩා එහා ගිය දියුණු අගයකි. මහජන නියෝජිතයින් 9008ක් සිටින මේ රටේ හෘද රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු සිටිනුයේ විසිපහකට අඩු ගණනකි. එය වෙනම කතාන්දරයකි.

සැබවින්ම රටක් දියුණු වනුයේ රටක සිටින මහජන නියෝජිතයන් සංඛ්‍යාව මත නොවේ. වඩා වැදගත්වනුයේ විශාල ඉලක්කමක් පැවතීම නොව ශක්තිමත් ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් පැවතීමයි. ඒ අර්ථයෙන් බලන විට අප සිටිනුයේ සෑහෙන පසුගාමී තැනකය. අප දන්නා ඉතිහාසය තුළ පළාත් පාලන නියෝජිතයින් සම්බන්ධයෙන් රට තුළ ඇත්තේ එතරම් යහපත් වූ චිත්‍රයක් නොවේ. පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අතිබහුතරයකට දේශපාලනය කෙසේ වෙතත් ගමේ මරණාධාර සමිතියක පාලනය  භාර දීමට තරම්වත් සුදුසුකම් නොමැත. ප්‍රදේශීය දේශපාලඥයින්ගේ හෙන්චයියන් වන ඒ අතිබහුතරයක් තුළ ස්වාමිවරුන් වෙනුවෙන් පෝස්ටර් ඇලවීම, ප්‍රතිවාදීන්ගේ කටවුට් ගැලවීම, හොර ඡන්ද දැමීම, විරුද්ධ පාක්ෂිකයන්ගේ දේපල විනාශ කිරීම සිදුකළ ඒවා පමණක් පුරුදුවූවන්ය. යහපත් යමක්, සමාජ වෙනසක් ඔවුන්ගෙන් අපේක්ෂා කිරීම විහිළුවකි.

පළාත් පාලන නියෝජිතයන් පිළිබඳ අප පවසනවාට වඩා වැඩි යමක් එම පළාත්වල ජනතාව දන්නා බව සහතිකය. ප්‍රාදේශීය සභා මන්ත්‍රී, නාගරික මන්ත්‍රී කියූ සැනින් පාරවල් දිගේ පිස්සු නටන, කුඩා ළමුන් අපයෝජනය කරන, ඉඩම් කොල්ලකන, කුඩු විකුණන, ගංජා ප්‍රවාහනය කරන, හොරහරක් ජාවාරම් කරන, කොන්ත්‍රාත්වලින් ගසා කන තක්කඩියෙකු සිහිවීම අරුමයක් නොවේ. මේ තක්කඩීන්ට එලෙස නිදහසේ පිනුම් ගැසීමට අවශ්‍ය බලපත්‍ර ලබාදෙන්නේ අන් කිසිවකු නොව පෝලිම් කඩාගෙන ගොස් මහජන ඡන්දයෙන් ඔවුන් තෝරා පත් කරගන්නා මහජනතාවමය. තමන් කළ ඒ වැරදි සම්බන්ධයෙන් පසු කලෙක දුක් ගී ගයමින් පසුතැවිලි වනවා වෙනුවට, තමන්ගේ නියෝජිතයෙකු ලෙස ගරු මන්ත්‍රීතුමා යැයි කටපුරා කිවහැකි පිරිසක් පළාත් පාලන ආයතනයට තෝරා පත් කරයැවීමේ යුතුකමක් ඡන්දදායකයන්ට ඇත. පවතින පාරිභෝජනවාදී හා මාධ්‍ය කේන්ද්‍රීය ලෝකය තුළ එය පහසු තෝරාගැනුමක් නොවන බව සැබෑවක් මුත්  රටේ මතු පැවැත්ම වෙනුවෙන් මෙවර හෝ තම සර්වජන ඡන්ද අයිතිය ප්‍රවේශමෙන් හා වගකීමෙන් යුතුව භාවිතා කිරීම සියලු ඡන්ද දායකයින්ගේ වගකීමකි.

මාතෘකා