විනෝද සමය

විනෝද සමය

ආණ්ඩු පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර ඇති වූ ගුටි බැට හුවමාරුව පිළිබඳව මාධ්‍ය කේන්ද්‍රීයව මෙන්ම රටේ සාමාන්‍ය ජනතාව අතරද සැලකිය යුතු කතාබහක් නිර්මාණය වී තිබේ. ජනතා බදු මුදලින් නඩත්තුවන රටේ උත්තරීතර ආයතනය යැයි සැලකෙන පාර්ලිමේන්තුව පිළිබඳ සමාජය තුළ ඇති චිත්‍රය එතරම් යහපත් නැත. එය මේ වනවිට රටවැසියන්ට නොනවත්වා විහිළු සපයමින් සිටිනුයේ ‘විනෝද සමය’ ජවනිකා දිනෙන් දින මවමිනි. මේ සිඳුවීම එහි එක් ප්‍රකාශනයක් පමණි. සැබැවින්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ හාදයන්ගේ රඟපෑම් දෙස බලද්දී ෆ්‍රෙඩී සිල්වා අද සිටියේ නම් ඔහුට වෙනත් රැකියාවක් සොයාගැන්මට සිදුවෙනවා නිසැකය.

බදාදා ඇති වූ අපකීර්තිමත් සිදුවීම පිළිබඳව කතා කිරීම වෙනුවට ආයතනයක් ලෙස පාර්ලිමේන්තුව මේ වනවිට පත්ව ඇති අතාර්තික භාවය පිළිබඳව කතා කෙරුමට අප කැමැත්තෙමු.   

ව්‍යවස්ථාදායකය නියෝජනය කිරීමට දේශපාලකයන්ට අවස්ථාවක් ලැබෙනුයේ තමන් කෙරෙහි විශ්වාසය තැබූ ඡන්ද දායකයන්ට, රටට සහ සමාජයට සේවයක් කිරීමටය.   
‘අවංක, නීතිගරුක, දෑහිතකාමී, නිහතමානී’ යැයි කියා ගනිමින් මැතිවරණයට පෙර දත් තිස්දෙකම පෙන්වමින් තාප්ප බෝක්කු වසා සිටින, සියලු මානව ගුණාංගවලින් තමන් උපරිමයට පොහොසත්පෙ බව පෙන්වන මැතිවරණ අපේක්ෂකයින්, ගරු කටයුතු හැසිරීමක නිරතවන බව නිරතරුවම ශපථ කළද, එය කිසි දිනෙක ප්‍රායෝගික ලෝකය තුළ සැබෑවක් නොකිරීම නම් කණගාටුදායකය. ‘දේශපාලනය යනු තක්කඩීන්ගේ සූදුවක්’ බව නොනවත්වා ශ්‍රී ලංකාව තුළ තහවුරුවෙමින් පවතී. සූදුව තුළ සදාචාර නියමයන් වැදගත් නොවේ. ඒ තුළ වඩා වැදගත් වනුයේ බලයය.   

පාර්ලිමේන්තුව රැස්වන එක දිනක් සඳහා වැයවන ජනතා බදු මුදලේ වටිනාකම රුපියල් මිලියන පහක් පමණ වන පසුබිමක මීට වඩා ගරුකටයුතු වගකීම් සහගත හැසිරීමක් ජනතා නියෝජිතයන්ගෙන් අපේක්ෂා කළද එය කිසිදෙනෙක ඉටු නොවන සෑහෙන ඈතින් ඇති ප්‍රාර්ථනාවක් බව පෙනෙන්නට ඇත. සාමාන්‍ය ජනතාවට පාර්ලිමේන්තුව ‘සීරියස්’ වුවද එය නියෝජනය කරන මැති ඇමතිවරුන්ට නම් එවැනි බැරෑරුම්කමක් ඒ සම්බන්ධව නොමැති බවක් පෙනෙන්නට ඇත. සභා වාර සඳහා සම්බන්ධ නොවීම, ඒවා මඟහැරීම අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විලාසිතාවක් වී තිබේ. බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණීම සලකුණු කර දිවා ආහාරය රැගෙන පිටව යෑම සුලබ දසුනක් වී තිබේ. ඇතැම් වැදගත් විවාද අවස්ථාවලදී ඝනපූර්ණය සම්පූර්ණ කරගැනීම සීනුව කීපවරක් නාද කිරීමට පසුගිය කාලයේ සිදුවීම, සැබෑ කථාන්දරය පිළිබඳ අවබෝධයක් ලබාදෙයි.   

අනෙක් අතට, පාර්ලිමේන්තු වාද විවාද මේ වනවිට ඇල්මැරුණු ස්වභාවයක් ගෙන ඇති අතර, අදාළ විෂයානුබද්ධ කාරණා පිළිබඳ කතා කරන්නන්ගේ හිඟතාවක් පැහැදිලිව දැකගත හැකිය. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක , එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, බර්නාඩ් සොයිසා, පීටර් කෙනමන්, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, අනුර බණ්ඩාරනායක, ලක්ෂ්මන් කදිරගාමර් වැනි දක්ෂ කථිකයන් සිටි සමයන්හි පාර්ලිමේන්තු වාද විවාද දෙස මුළු රටම අවදියෙන් යුතුව බලා සිටිමුත්, අද කතාව වෙනුවට ඒ තුළ වැඩිපුර ඇසෙනුයේ පුහු ඝෝෂාවන්ය. අතිශය වටිනා පොත් එකතුවකින් සමන්විත පාර්ලිමේන්තු පුස්තකාලය භාවිතාකරන මන්ත්‍රීවරයෙකු අද සොයාගැනුම නොමළ ගෙයකින් අබ ඇටයක් සොයනවා වැනි දෙයකි.   

පුස්තකාලයට හෝ සභාගර්භයට වඩා ගරු මන්ත්‍රීවරුන් වැඩිපුර ගැවසෙනුයේ පාර්ලිමේන්තු භෝජනාගාරයේය. මසකට පාර්ලිමේන්තුව දින අටක් පමණ රැස්වෙන මුත් ඇතැම් මන්ත්‍රීවරු එහි පැමිණෙනුයේ මාස තුනකට වතාවක් පමණි. ඒ තරමටම ඔවුන් කාර්‍යබහුලය. ඒ අතරිනුත් ඇතැමුන් මුළු පාර්ලිමේන්තු ධුර කාලයටම සභාව අමතනුයේ වතාවකදී දෙකකදී පමණි. දියවන්නාව තරණය කරමින් ව්‍යවස්ථාදායකය නියෝජනය කිරීමේ හිමිකම් ලබාගන්නා ඇතැමුන්, තම කට අරිනුයේ කෑම ගැනීමට සහ ඈනුම් ඇරීමට පමණි. මෙබඳු දුර්වල වැඩ වාර්තාවක් සහිත පුද්ගල කණ්ඩායමක් ද සිටින තැනකින් පසුගිය බදාදා සිදුවූ අන්දමේ ‘කෝලම්’ නිසැකවම ඉදිරියටත් අපේක්ෂා කළ හැකිය.   
එම සිදුවීම එම මාදිලියේ පළමු සිදුවීම නොවන්නා සේම, අවසාන සිදුවීමද නොවන වග කැටතියා පැවසිය හැකිය.  

මාතෘකා