පෞරුෂය හා කොන්ද නැවීම

පෞරුෂය හා කොන්ද නැවීම

අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් වරක් බන්දුල ගුණවර්ධන යාපනයේ නිල සංචාරයක යෙදුණි. එහිදී පහ වසරේ ශිෂ්‍යත්වය සමත් දරුවකු මුණ ගැසීමට ඔහු ගියේය. ඒ අවස්ථාවේදී දරුවා අමාත්‍යවරයාට වැඳීම ප්‍රතික්ෂේප කළේය. තමා වඳින්නේ දෙමව්පියන්ට හා ගුරුවරුන්ට පමණක් බව දරුවා ප්‍රකාශ කර තිබුණි. එහෙත් එවකට විභාග කොමසාරිස් ජනරාල්වරයා තම නිලයට පත්වී තනතුරේ රාජකාරි බාර ගන්නා අවස්ථාවේදී එවකට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනට වැන්දේය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරද්දී ජනාධිපති ලේකම් වූ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියාද ජනාධිපතිවරයාට වැන්දේය. වාසුදේව නානායක්කාර, පවිත්‍රාදේවි වන්නිආරච්චි, මර්වින් සිල්වා වැනි අමාත්‍යවරුන්ද මහින්ද රාජපක්ෂට දෙකට නැමී වඳින අයුරු මාධ්‍යවල පළ විය. එවකට රජයේ උසස් නිලධාරිහුද හොරාට හොරාට අරලිය ගහ මන්දිරයට ගොස් ජනාධිපති මහින්ද රාජපක්ෂට වැන්දෝය.  

වන්දනාමාන කිරීම බෞද්ධ සංස්කෘතියේ දක්නට ලැබෙන චාරිත්‍රයකි. ඒ අනුව පිදිය යුත්තන් පිදීම චාරිත්‍රයකි. පිදිය යුත්තන් වන්නේ තමන්ගේ දෙමව්පියන්, ආගමික පූජකයන් හා ගුරුවරුන් ලෙස සම්ප්‍රදායක්ද පවතී. එහෙත් සිංහල සංස්කෘතිය තුළ දකින දකින අවස්ථාවන්හි වඳින සම්ප්‍රදායක් නැත. ඇත්තේ යම් විශේෂිත අවස්ථාවක පූජකයන්, දෙමව්පියන් හා ගුරුවරුන් වන්දනාවට ලක් වීම පමණය.  

එහෙත් රූපවාහිනිය මඟින් පුරුදු කර ඇත්තේ හැකි සෑම අවස්ථාවකම වඳින අලුත් සම්ප්‍රදායකි. මේ වැඳිල්ල කෙතරම් දුරදිග ගොස් ඇද්දැයි කිවහොත් මංගල්‍ය උත්සවයක දී මනාලිය මනාලයටද වැඳිය යුතුය. එහෙත් මනාලයා නම් මනාලියට වඳින චාරිත්‍රයක් නොමැත. වාමාංශික ව්‍යාපාරය විසින් සමාජය තුළ ඇති කළ මතවාදයට අනුව වැඩිහිටියන්ට වඳින චාරිත්‍රයක් නොවීය. ඔවුන් සමාජ වටිනාකමක් ලෙස දුටුවේ වැඩිහිටියන්ට ගරු කිරීමයි. වැඩිහිටියන්ට ගරු කිරීම යනු වැඳ වැටීම නොවේ. කෙනෙක් තව කෙනකුට වැඳීම පෞරුෂය පිළිබඳ ප්‍රශ්නයකි. එවිට වඳින්නාගේ පෞරුෂයට යම් හානියක් සිදු වේ. අසන්නට ලැබෙන පරිදි මෙරටේ වමේ ව්‍යාපාරයේ පතාකයකු වූ පිලිප් ගුණවර්ධන තම බිරිය වූ කුසුමා ගුණවර්ධනට පවසා ඇත්තේ මගේ දරුවන් ලවා දකින දකින පුද්ගලයන්ට වන්දවන්න එපා යන්නයි. පිලිප් ගුණවර්ධනට මේ භාවිතය එන්නට ඇත්තේ වමේ ව්‍යාපාරයෙන් විය හැකිය.   

පෙරේදා මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මාතර පාසැලක පැවැති උත්සවයකදී අපූරු කතාවක් කළේය. ඔහුව පිළිගන්නට පෙරමඟට ආ ශිෂ්‍යාව අමාත්‍යවරයාට බුලත් දී වැඳ තිබුණි. අමාත්‍යවරයා තම කතාවේදී එය සඳහන් කරමින් පවසා ඇත්තේ දකින දකින පුද්ගලයාට වැඳීම යහපත් සිරිතක් නොවන බවයි."ඔයාලා මේ ස්ථානයට පැමිණෙන ප්‍රාදේශීය සභාපතිටත් වඳිනවා, මන්ත්‍රීවරයාටත් වඳිනවා, මටත් වඳිනවා. ඔයාල දන්නව ද මම ගෙදර ගිහින් මොන නරක වැඩේ කරනවාද කියලා" යැයි මංගල සමරවීර අමාත්‍යවරයා දරු දැරියන්ගෙන් විමසා ඇත. බලයට නොවඳින ලෙසත් වැඳිය යුත්තන්ට වඳින ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිසු දරු දැරියන්ට උපදෙස් දී ඇත. මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මේ කරන්නේ උඩුගම් බලා පිහිනීමකි.  

අද පවතින සිරිතට එරෙහි වන්නැයි ඔහු ඉල්ලීමක් කරයි. එහෙත් අමාත්‍යවරයාගේ ඉල්ලීමට පදනමක් පවතී. ඔහු කියන්නේ දකින දකින බලය ඇති පුද්ගලයාට නොවඳින ලෙසයි. පිදිය යුත්තන්ට පමණක් පුදන ලෙසයි.දරුවන්ගේ පෞරුෂය වර්ධනය විය යුත්තේ කුඩා කල සිටමය. එවිට ඒ දරුවෝ වැඩිහිටියන් වූ කලද ශක්තිමත් පෞරුෂයකින් නැඟී සිටිති. ජාතියක වර්ධනය සඳහා යහපත් පෞරුෂයකින් යුත් පුරවැසියන් අවශ්‍ය වේ. එසේ නොවන්නට ජාතියක් ගොඩනැඟෙන්නේ නිවට නියාළු ලෙසය.

මාතෘකා