ගැහැ­නිය ඇඳුම නිසාද?

ගැහැ­නිය ඇඳුම නිසාද?

ශ්‍රී ලංකාවට ඩොලර් උපයා දෙන කර්මාන්ත අතුරින් තවමත් අංක එකට සිටින්නේ විදේශගතව රැකියා කිරීමය. 2015 වර්ෂයේ එමඟින් ඉපයූ විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 948,957කි. එ් මුදල සම්පූර්ණ අපනයන ආදායමෙන් 66.56%කි. එ් මුදලින් රුපියල් මිලියන 512,437ක්, එනම් 54%ක් උපදවන්නේ මැද පෙරදිග රැකියා කරන්නන්ය. එහි සාතිශය බහුතරය කාන්තාවන්ය.

ඇගළුම් අපනයනයෙන් උපයන සම්පූර්ණ විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 618,803කි. වැවිලි බෝග අපනයනයන්ගෙන් උපයන මුළු විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 233,347කි. ඒ අනුව මෙරටට විදේශ විනිමය වශයෙන් ඩොලර් උපයාදෙන පළමු ක්ෂේත්‍රය විදේශගත රැකියා කරන්නන් වන විට දෙවැනි හා තුන්වැනි ක්ෂේත්‍ර වන්නේ ඇගළුම් ක්ෂේත්‍රය හා වැවිලි බෝග ක්ෂේත්‍රය. මේ ක්ෂේත්‍ර තුනෙහිම සේවා නියුක්තියේ බහුතරය කාන්තාවන්ය.

අප පත්තර අච්චු ගහන්නේත්, දේශපාලකයන් සුඛ විහරණ ගන්නේත්, ධනපතියන් බඩ පිනුම් ගහන්නේත් මේ අහිංසකයන් උපයාදෙන ඩොලර්වලිනි. සාමාන්‍යයෙන් මේ ක්ෂේත්‍රයන් තුනෙහිම සේවා නියුක්තිකයන්ට විශේෂ වරදානයක් නොලැබේ. ඔවුන්ට ලැබෙන්නේ කඳුළු සමඟ උණු ලේ සුවඳැති රුපියල් පමණි. ඔවුන් ණය වී හිසට වහල් තනන්නේ ද කුසගිනි නිවා ගන්නේ ද දරුවන් පාසැල් යවන්නේ ද ඒ රුපියලෙනි.

රටේ ජනගහනයෙන් අවම ආදායම් ලබන 20%ක ප්‍රමාණය ආර්ථිකයට දරන දායකත්වය 7.1%ක් පමණි. එහෙත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් 50%ක පංගුවකට උරුමකම් කියන්නේ උපරිම ආදායම් ලබන රටේ ජනගහනයෙන් 20%කි. රටේ ආර්ථිකයේ ආදායම් බෙදී යෑමේ විෂමතාව මෙන්ම සුළු පිරිසක් උපයන විදේශ විනිමය නිසා මුළු රටම නඩත්තු වන අන්දම මේ සංඛ්‍යා ලේඛනවලින් කදිමට පැහැදිලි වේ.

මේ අතර ශ්‍රී ලංකාව මුළුමනින්ම පාහේ විදේශ ණය මත යැපෙන රටකි. විදේශ සංචිතයන්ට සාපේක්ෂව 2014 වර්ෂයේ දී විදේශ ණය ගෙවීම් ප්‍රතිශතය 17%ක අගයක් ගත් නමුත් එ් අගය 2019 දී 37%ක් දක්වා ඉහළ යන බව වාර්තා වේ. තත්ත්වය වඩාත් භයානක වන්නේ රාජ්‍ය ආදයම ක්‍රමයෙන් පහළ බැසීමයි. ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව රජයේ බදු ආදායම 10%ක් වන අතර එය කලාපයේ රටවල් අතුරින් අවම අගයකි. 2014 දී රාජ්‍ය ආදයම රුපියල් බිලියන 1,195ක් වන විට ණය හා සේවා ආපසු ගෙවීම රුපියල් බිලියන 1,069කි.

මේ සංඛ්‍යාලේඛන පැහැදිලි කරන්නේ ශ්‍රී ලාංකාවේ ආර්ථිකය පවතින දුෂ්කර හා භයානක තත්ත්වයයි. ඒ අනුව මූල්‍ය අර්බුදය දුරදිග ගොස් කොයි වෙලේ ආර්ථිකය කඩාගෙන වැටීමක් සිදු වේ දැයි අනතුරක් පවතී. පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ධ්‍රැවීකරණය වූ දේශපාලන තත්ත්වය සංසිඳුවා ගැනීමට නොහැකිව මුළු රටම බලා සිටින්නේ මෙවැනි භයානක තත්ත්වයක් තිබියදීය. මැතිවරණය පවත්වා ප්‍රතිඵලය ලබාදී දින 17ක් ගෙවී ගොස් ඇත.

එහෙත් දේශපාලනික ව ඇති වූ තිගැස්ම තවමත් පහව ගොස් නැත. ප්‍රජතන්ත්‍රවාදීව මහජන කැමැත්ත විමසීම අවශ්‍යය. එහෙත් මැතිවරණයක් නිසා රටේ සමාන්‍ය එදිනෙදා කටයුතු නතර වී තිබීම බරපතළ අර්බුද නිර්මාණය කරයි. අප සමාජයක් ලෙස ගෙවමින් සිටින්නේ එවැනි අර්බූදකාරී වාතාවරණයකි. මේ අර්බුදයට සංවේදී නොවන්නා සමාජය ගැන උනන්දුවක් දක්වන්නකු නොවේ; රටේ මිනිසුන්ට ආදරය කරන්නකු නොවේ; අනාගත පරම්පරාවට ආදරය කරන්නකු නොවේ; රටේ යහ පැවැත්මට ආදරය කරන්නකුද නොවේ. ඔහු සූදු ක්‍රීඩාවේ යෙදෙමින් මුළු රටම පරදුවට තබමින් කෙළිදෙලෙන් පසුවන්නෙකි. එවැන්නකු නියම හැඟීමකින් යුතු ශ්‍රී ලාංකිකයකු නොවේ.

මාතෘකා