වටිනා ජලය කෝ...?

වටිනා ජලය කෝ...?

කළු ගගෙන් ජල අවශ්‍යතා සපයා ගන්නා වාද්දුව, කළුතර හා බේරුවල අවට ජනතාව විශාල ප්‍රශ්නයකට මුහුණ දී සිටී. ඒ කළු ගගේ ජලයට මුහුදු ජලය මිශ්‍ර වීමයි. ඒ නිසා පානීය ජලයේ ලවණතාව ඉහළ ගොස් ඇත. ජලය පානය කිරීමට නොහැකිව ඇත. විවිධ හේතු නිසා ශ්‍රී ලංකාවේ පානීය ජලය ලබා ගැනීම අර්බූදයකට ගොස් ඇතැයි කීවොත් එය නිවැරැදිය.


කැලණි ගඟෙන් ජල අවශ්‍යතා සපයා ගන්නා මහජනතාව නිතර මුහුණ දෙන ප්‍රශ්නය වන්නේ ඊට විවිධ රසායන ද්‍රව්‍ය මුහුවීමයි. තවත් ප්‍රදේශවල පානයට ගන්නා ජලයේ කිවුල පවතී. මුළු රජරටටම තර්ජනයක් වී ඇත්තේ වකුගඩු රෝගයයි. තවමත් ඊට හේතුව ලෙස සැක කරන්නේ පානීය ජලයට රසායන ද්‍රව්‍ය මුහු වීමයි. පිරිසුදු පානීය ජලය ලැබෙන්නේ එහෙමත් කෙනෙකුට වන තරමට ශ්‍රී ලංකාවේ පානීය ජලය සපයා ගැනීම අභියෝගයකට ලක්ව තිබේ.
මීට වසර තිහ හතළිහකට කලින් මෙවැනි අර්බූදයක් මතු වේයැයි කිසිවෙක් නොසිතනට ඇත. එදා ජලය ඕනෑ තරම් තිබූ අතර ජල ප්‍රභවද දූෂණය වීමකින් තොරව පැවතුණි. ඒ නිසා පානීය ජලය පිළිබඳ කිස‍දු බියක් ඇති නොවුණි. නගරයට පැමිණිවිට මුදල් දී බෝතල් කළ ජලය ගෙන පානය කරන්නට වෙතැයි කිසිවෙක් නොසිතන්නට ඇත. සමාජය සංකීර්ණ වීමත් සමඟ තත්ත්වය වෙනස් වී තිබේ. එදාට වඩා ජනගහනය වැඩි වී ඇත. ඊට සාපේක්ෂව මානව ක්‍රියාකාරකම් වැඩි විය. වැඩිවන ජනගහනයට ගැලපෙන ලෙස කර්මාන්ත, කෘෂි කර්මාන්ත අංශයේ ක්‍රියාකාරිත්වයද වැඩි විය. මේ හේතු නිසා පානීය ජලය සපයා ගන්නා ජල ප්‍රභවවලට තර්ජන එල්ල විය.


සමාජයක් සංකීර්ණ වීමට සමාන්තරව ප්‍රශ්න පැන නැඟීම තාර්කිකය. පානීය ජලය අහිමි වන්නට තරම් ප්‍රශ්න පැන නැඟී ඇත්තේ පාරිසරික තුල්‍යතාව බිඳ වැටීම නිසාය. ඊට හේතුව සංවර්ධනයයි. ශිෂ්ටාචාරයක දියුණුව සදහා සංවර්ධනය අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි. සංවර්ධනය යන වියුක්ත වචනයෙන් ගම්‍ය වන්නේ හිස් අර්ථයක් විය හැකිය. එහෙත් සංයුක්තව ගලපා ගන්නා විට මානව ප්‍රජාවේ පුළුල් වෙනසක් සංවර්ධනය යන්නෙන් ගම්‍ය වේ. ප්‍රශ්නය වන්නේ සංවර්ධනය නොව එය තිරසාර සංවර්ධනයක් නොවීමයි. පාරිසරික තිරසාරභාවය සහතික කර ගැනීම සහශ්‍ර සංවර්ධන ඉලක්ක තුළද ඇතුළත්ව තිබුණි. එ් ඉලක්ක ගලපා තිබුණේ 2015 වර්ෂයේ දී සපුරා ගන්නටය. එහෙත් සහස්‍ර සංවර්ධන ඉලක්ක මෙන්ම පාරිසරික තිරසාරභාවයත් සහතික කර ගන්නට ලෝකයාටම නොහැකි විය.


පානීය ජල අර්බූදය තවමත් සමාජ ප්‍රශ්නයක් ලෙස අප දකින්නේ නැත. කිසිම මැතිවරණයකදී පානීය ජල අර්බූදයට විසඳුම් දෙන්නට කිසිම දේශපාලන පක්ෂයක් පොරොන්දු දෙන්නේද නැත. අයවැය හෝ වෙනත් රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයකදී හෝ පානීය ජල අර්බූදය අභියෝගයක් ලෙස සලකා විසඳුම් සොයන ප්‍රතිපත්තියක් ගැන සාකච්ඡා කරන්නේ ද නැත. එහෙත් අපේ සමාජයේ මගී ප්‍රවාහනය, මාර්ගස්ථ වාහන තදබදය, ඩෙංගු රෝගය උත්සන්න වීම ආදී වශයෙන් වූ බරපතල ප්‍රශ්නවලින් එකක් බවට පානීය ජල අර්බූදයද පත්ව ඇත. එහෙත් කිසිවෙක් ඒ ප්‍රශ්නයට සංවේදී නොවේ. සංවර්ධනය අවශ්‍ය වන්නේය. එහෙත් සංවර්ධනය නිසා පාරිසරික විනාශයක් ඇති නොවිය යුත්තේය. ඒ සඳහා තිරසාර සංවර්ධන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. එය ප්‍රායෝගික ව කරන්නට අපහසු විය හැකිය. නමුත් මිනිස් ප්‍රජාවේ පමණක් නොව පාරිසරික පද්ධතියේම ඉදිරි පැවැත්ම සදහා තිරසාර සංවර්ධනය තහවුරු කරගත යුතුය. එසේ නොවන්නට පාරිසරික පද්ධතියම බිඳ වැටීම නොවැළැක්විය හැකිය.

මාතෘකා