රබර් මිල රබර් වීම

රබර් මිල රබර් වීම

රබර් මිල නැවතත් පහත වැටෙමින් පවතී. මෑත යුගයේ උපරිම මිලක් ලැබුණේ පසුගිය වසරේ පෙබරවාරියේය. දුම් ගැසූ අංක එකේ ෂීට් රබර් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 408.71ක් විය. ඒ මිල ඊයේ පෙරේදා වන විට රුපියල් 220 දක්වා පහත වැටී තිබුණි. ඒ අනුව වසරක් ඇතුළත රබර් මිලෙහි අඩුවීම 46.07%ක් පමණ වී ඇත.   

මහා පරිමාණ රබර් වතු සමාගම් ද සුළු හා මධ්‍ය පරිමාණයේ රබර් නිෂ්පාදකයෝද මිල පහත බැසීම නිසා දුෂ්කරතාවට පත් ව සිටිති. එසේම එ් වතුවල සේවය කරන කුළී කම්කරුවන් ද මුහුණ පාමින් සිටින්නේ ජීවත්වීමේ බරපතල ප්‍රශ්නයකටය. මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමද ගැටලුවකි.   

තිස් දහසක් පමණ වන රබර් වතු හිමියන් මුහුණ පාන මිල අඩුවීමේ ප්‍රශ්නය දැනට වසර පහකට පමණ පෙර සිට ආරම්භ වූවකි. 2013 වර්ෂයේ ජනවාරි මාසයේ දී දුම් ගැසූ ෂීට් රබර් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 418.59ක් විය. එදා සිට රබර් මිලෙහි වූ අවම මිල වරෙක රුපියල් 177.00ක මට්ටමකටද පහත වැටිණි. 2015 වර්ෂයේ දී රබර් නිෂ්පාදකයා ආර්ථික අගාධයකට වැටීමෙන් ගලවා ගැනීම සදහා රජයේ සහනාධාර දීමටද සිදු විය.

රබර් මිලෙහි පුළුල් පරාසයක පවතින උච්ඡාවචනය මුළුමනින් ම රදා පවතින්නේ ලෝක වෙළෙදපළෙහි ඇතිවන ඉල්ලුම් සැපයුම් න්‍යායේ හා අනෙකුත් වෙළෙඳපළ තත්ත්වයන් මතය. ස්වභාවික රබර්වලට එල්ල වූ අභියෝගය ජයගෙන ඒ සදහා වූ ලෝක වෙළෙදපළේ ඉල්ලුම ස්ථාවර විය. එහෙත් මිල විශාල පරාසයක උච්ඡාවචනය වීම දරා ගැනීමට අපහසුය.

වර්ෂ 2015 දී රු. බිලියන 3.5ක් ව පැවැති ශ්‍රී ලංකාවේ රබර් අපනයන ආදායම වර්ෂ 2016 දී රු.බිලියන 4.8ක අගයකට ඉහළ ගොස් තිබේ. එසේම, ස්වාභාවික රබර් ආශ්‍රිත නිමි භාණ්ඩ අපනයනයෙන් 2015 වර්ෂය තුළ රු. බිලියන 101.4ක් උපයාගෙන ඇති අතර 2016 වසරේදී එ් අගය රු.බිලියන 111 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2014 වර්ෂයේ නිමි භාණ්ඩ අපනයනයෙන් උපයාගත් අදායම හැරුණු විට පසුගිය පස් වසරක කාලය ඇතුළත වාර්තාගත ඉහළ ම ආදායම වේ.

විදේශ විනිමය වශයෙන් ශ්‍රී ලංකාවට රබර් අපනයනයෙන් එපමණ ආදායමක් ලැබුණද මිල ස්ථාවර නොවීම බරපතල ගැටලුවකි. මේ නිසා රබර් කර්මාන්තය එකීය සීඝ්‍රතාවකින් සංවර්ධනය නොවන අතර එය අස්වැන්නේ ඵලදායිතාවටද බල පෑ හැකිය. දැනට ශ්‍රී ලංකාවේ රබර් ඵලදායීතාවය වසරකට හෙක්ටයාරයකට කිලෝ ග්රෑම් 850 වැනි ඉතා පහත් අගයකි. අනෙකුත් රබර් වගා කරන රටවල් හා සසඳන කළ 2015 වසරේ ඵලදායීතාව වැඩිම අගයක් පෙන්වන්නේ වියට්නාමය වන අතර එය වසරකට හෙක්ටයාරයකට කිලෝ ග්රෑම් 1738කි.

සාම්ප්‍රදායික බෝගයක් වන රබර්වලට අභියෝග එල්ලවීම බලාපොරොත්තු විය යුත්තකි. කෘත්‍රිම රබර්වලින් ස්වභාවික රබර්වලට බරපතල අභියෝගයක් එල්ල විය. එහෙත් ස්වභාවික රබර්වලටද වෙළෙදපළක් පවතී. ලෝක රබර් නිෂ්පාදන රටවල් ආරක්ෂා වී ඇත්තේ එබැවිනි. එහෙත් ඒ රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ පසුගාමීවය.

රබර් කර්මාන්තය රැක ගැනීම සඳහා නිවැරැදි විකල්පයක් වන්නේ රබර් වතුවල අතුරු බෝග වගා කිරීමයි. එහෙත් ලංකාවේ බොහෝ රබර් වතු පවතින්නේ ඒකීය වගා මට්ටමක පමණි. රබර් වතුවල අතුරු බෝග වගා කිරීමට ගොවීන් යොමු කරන්නේ නම් රබර්වල මිල උච්ඡාවචනයන්ට මුහුණදීමට එය මනා රුකුලක් වන්නේය.

මාතෘකා