මහරගම කුණු ගඳ

මහරගම කුණු ගඳ

මහජන එක්සත් පෙරමුණේ බලයට නතු ව තිබූ කැලණි මිටියාවතේ වමට නැඹුරු ප්‍රදේශයක් වූයේ මහරගමයි. පසුව මහරගම පිරී ඉතිරී ගියේ සිංහල බෞද්ධ ජනයාගෙනි. 2004 මහා මැතිවරණයේ දී ජාතික හෙළ උරුමය ජයග්‍රහණය කළ එක මැතිවරණ කොට්ඨාසයක් වූයේ ද මහරගමයි. ඒ මහරගම අද වන විට විවිධ දේශපාලන සංඥා නිකුත්කරන සිග්නල් කණුවක් බවට පත්ව ඇත.   

මහරගම 1978 වන විට සාම්ප්‍රදායික වාමාංශිකයන් පිරිසක් ජීවත් වූ නගරයකි. 1983 අතුරු මැතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන තේරී පත් වන්නේ ද ඒ ඡන්ද දායකයන්ගෙනි. එහෙත් ක්‍රමයෙන් මහරගම ඡන්ද දායකයන්ගේ සමාජ ආර්ථික පරිසරය වෙනස් විය. ඊට හේතුව වූයේ ගමෙන් නගරය කරා ආ මැද පාන්තික බහුතරය මහරගම ස්ථිර පදිංචිය ලබා ගැනීමයි.  

මේ මැද පන්තියේ සංස්කෘතික ගති ලක්ෂණ බොහෝ වෙනස් ය. ඔවුන් රැඩිකල් ආකර්ෂණීය දේශපාලන වෙනස්කම්වලට බොහෝ කැමැති ය. ඒ මැද පාන්තිකයන් නිර්මාණය කළේ 1978 දී මෙරටට හඳුන්වා දුන් වෙළෙදපළ ආර්ථිකයෙනි. එහෙත් ඔවුන්ට නිසි පරිදි ආමත්‍රණය කළේ එක්සත් ජාතික පක්ෂය විසින් නොවේ. ඒ සදහා ක්‍රමවත් දෘෂ්ටියක් තිබුණේ රාජපක්ෂ දේශපාලනයටයි. ඒ දෘෂ්ටිය වන්නේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයයි.  

කලක් මහරගම නාවින්න පසු කරගෙන යන කිසිවකුට අප්‍රසන්න දුඟදේ ආස්වාදය නොවිඳ යන්නට නොහැකි විය. අද ද මහරගම නගරයේ ඇවිද යන්නකුට මතු පිටින් කොන්ක්‍රීට් තහඩු දමා වසා ඇති කාණු පද්ධතියෙන් හමන මිනී කුණු ගඳ හමන දුගඳ ඉවසීමට සිදුවේ. කාලයක් ම මහරගම නගර සභාව පිටුපස ප්‍රසිද්ධ වැසිකිළිය උතුරමින් තිබුණි. නගරයේ වාහන තදබදයකි. අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවාවන්ගේ ගමනාත්තයන් කිහිපයක් ම මහරගමින් ආරම්භ වේ. එහෙත් මගියකුට අව්වෙන් වැස්සෙන් බේරෙන්නට එකම එක මගී ආවරණයක් නොමැත. සතර දිග් භාගයෙන් එන මගී ප්‍රවාහන බස් රථ වලට මධ්‍යස්ථානයක් වුව ද බස් රථ නැවතුම් පළක් නොමැත.  

එහෙත් මහරගම සිංහල බෞද්ධ පුරවැසියන්ට මේ එකක්වත් ප්‍රශ්න නොවේ. ඒ දුඟද හමමින්, වාහන තදබදයට ලක්වෙමින් හා දහසකුත් එකක් අපහසුතාවන්ට ගොදුරු වෙමින් ඔවුන් උත්සාහ ගන්නේ "සිංහල බෞද්ධ රට බේරා ගන්නට" ය. ඒ සදහා රාජපක්ෂ දේශපාලනය ජයග්‍රාහී කරවීමටය.  

රාජපක්ෂ දේශපාලනයේ මහරගම නියෝජිතයන් වන්නේ දිනේෂ් ගුණවර්ධනත්, උපාලි කොඩිකාර අඹු සැමි යුවළත් ය. මේ දෙපාර්ශ්වය කැත්තට පොල්ල මෙනි. දිනේෂ් ගුණවර්ධනගේ කෙරුම්කම් පාර්ලිමේන්තුවට නැතත් මහරගමට තිබේ. එනිසා කොඩිකාර යුවළ කෙතරම් ඇවිස්සුණද ඔහු ඇවිස්සෙන්නේ නැත. අවාසනාව වන්නේ මේ දෙපාර්ශ්වයට ම මහරගම සංවර්ධනයේ මූලික අඩිතාලමවත් දමා ගැනීමට නොහැකි වීමයි.  

පසුගිය නගර සභා මැතිවරණයේ දී රාජපක්ෂ දේශපාලනයේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වන්නේ මේ වාතාවරණය ඇතුළත ය. එනිසා ඔවුහු ස්වාධීන කණ්ඩායමකට තම සහයෝගය ලබා දෙති. එසේ කරන්නේ යටි සිතෙහි තබා ගත් කුප්ප අරමුණක් ඇතිව ය. එනම් ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කළ විට තේරී පත්වන නගර සභිකයන් ඉල්ලා අස් කරවා තමන්ගේ පක්ෂ සාමාජිකයන් ඊට පත් කරවා ගැනීමට ය. හබක වන්නේ ස්වාධීන කණ්ඩායමෙන් පත්වූවන් ඉල්ලා අස්වීමට අකැමැතිවීමත් ඉල්ලා අස්වන්නන් වෙනුවෙන් අලුත් අය පත් කිරීම ප්‍රායෝගික ව අපහසුවීමත් ය.  

රාජපක්ෂ දේශපාලනය මහරගම දී අමුඩ ගැහැව්වේ මුහුදට හත් ගව්වක් තිබිය දී ය. අමුඩය ගසා ඇත්තේ මායිම් වැටේ හරස් ලීයත් සමඟ ම ය. දැන් දඟලන්නේ අමුඩය ගළවා ගෙන හරස් ලීය ඉවත් කර ගන්නට ය. එහෙත් ඒ සමඟ රාජපක්ෂ දේශපාලනයේ සෙළුව ද පෙනෙන බැව් ඔවුන්ට නොපෙනේ.

මාතෘකා