පණ හයිය බැලීමේ නායකත්ව පුහුණුව

පණ හයිය බැලීමේ නායකත්ව පුහුණුව

නායකත්ව පුහුණුවකට ගිය හම්බන්තොට සුචි ජාතික පාසලේ විදුහල්පතිනිය මිය ගොසිනි. ඊට හේතුව කඹයක ආධාරයෙන් කරන ලද ක්‍රියාකාරකමක දී ඇති වූ හදිසි අනතුරකි. ඇගේ වයස අවුරුදු 55ක් වන අතර සිව්දරු මවකි. ඇගේ අභාවයෙන් ඒ මුළු පවුලම අසරණ වී ඇති බව නොකිව යුතු කරුණකි.

නායකත්ව පුහුණුව විදුහල්පතිවරුන්ට පමණක් නොව විශ්වවිද්‍යාලවලට තේරුණු දරුවන්ටද මීට කලින් නිර්දේශ කෙරිණි.  එවැනි පුහුණුවලදී ද සමහර දරුවෝ මිය ගියහ. සමහරු බරපතළ තුවාල ලැබූහ. ඒ සියල්ලට හේතු වූයේ ශාරීරික ක්‍රියාකාරකම්වලදී සිදු වූ හදිසි අනතුරුය.

ඕනෑම මිනිස් ක්‍රියාකාරකමක දී  ජීවිතයකට හානි සිදුවීමත්, බරපතළ තුවාල සිදුවීමත් විය හැකිය. එම මිනිස් ක්‍රියාකාරකම මිනිස් ශිෂ්ඨාචාරයේ පැවැත්මට අත්‍යවශ්‍යම නම් අනතුරු අවම කරගෙන එම ක්‍රියාකාරකම් වල යෙදිය යුතුය. එහෙත් තරුණවිය ඉක්ම වූ වැඩිහිටියන් නායකත්ව පුහුණුවක මුවාවෙන් ඔරොත්තු නොදෙන ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදවීම අනතුරකට බලෙන් තල්ලු කිරීමකි. බරපතළ ශාරීරික ව්‍යායාම්වල නිතර නොයෙදෙන පුද්ගලයකු ඊට බලෙන් යොමු කිරීම එම ව්‍යායාමය ඔරොත්තු නොදීමට හේතු විය හැකිය. නායකත්ව පුහුණු සැසිවලදී මිය ගිය හා බරපතළ අනතුරට ලක් වූ බොහෝ අය එවැනි දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දුන් අයයි.

නායකත්ව පුහුණුවකට බරපතළ ශාරීරික ක්‍රියාකාරකම් අවශ්‍යමද? එසේ අවශ්‍ය නම් වැඩිමහලු වියේ පසුවන පුද්ගලයකු එම ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදවීම සුදුසුද යන්න විසදා ගත යුතු බරපතළ ප්‍රශ්නයකි. එහෙත් එවැනි කරුණු කාරණා ගැන නොවිමසා වැඩිමහලු පුද්ගලයන් බරපතළ ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදවීම සිදුවුණි. එහි ප්‍රතිඵලය වී ඇත්තේ නායකත්ව පුහුණුවට ගිය කොල්ලන් කෙල්ලන් මෙන්ම වැඩිහිටියන්ද අනතුරට පත් වීමයි. ඒ සම්බන්ධයෙන් වගකියන්නට කිසිවෙක් නොමැත.

නායකත්ව පුහුණුව ජාතියක පෞරුෂය වඩන්නට වැදගත් ක්‍රියාකාරකමකි. වෙනත් රටවල තරුණ වයසේ දී අනිවාර්ය හමුදා පුහුණුවක් ලබාදෙන්නේද එබැවිනි. තවත් සමහර රටවල තාවකාලික පැවිද්ද පවා ලබාදීමෙන් සිදු වන්නේ සමාජයේ පෞරුෂ වර්ධනයයි. එසේම වුෂූ, කරාතේ වැනි සටන් ක්‍රමවල තරුණ පරපුර යොදවන්නේද ඒ සඳහාය. විවිධ භාවනා ක්‍රමද තවත් ආකාරයකින් පෞරුෂ වර්ධනයට උපයෝගී කර ගැනේ. ක්‍රියාකාරකම කුමක් වුවද එයින් අපේක්ෂිත ප්‍රතිඵල බොහෝ විට සමානය. එසේම ඒ සියල්ල පදනම් වී ඇත්තේ හුදු බරපතළ ශාරීරික ක්‍රියාකාරකම් මත නොව අධ්‍යාත්මික ක්‍රියාකාරකම් මතය.

ශ්‍රී ලංකාවේ සමාජයට අදාළව සලකා බැලුවහොත් ජාතියේ පෞරුෂය වර්ධනය කිරීම සඳහා පැති කිහිපයකින් සලකා බැලිය යුතුය. ආකල්පමය, ශාරීරික හා අධ්‍යාත්මික පෞරුෂයන් වර්ධනය කිරීම ඒ අතර ප්‍රධාන වේ. විශේෂයෙන් සමාජයේ ආකල්ප වර්ධනය කර දියුණු ලෙස සිතන්නට පුරුදු කරවීම අතිශය වැදගත්ය. එසේම ශාරීරික වශයෙන් නීරෝගීමත් හා පෞරුෂවත් පරපුරක් නිර්මාණය කර ගැනීමද වැදගත්ය. අධ්‍යාත්මික හරයන් වර්ධනය කර ගැනීමද ඊට නොදෙවෙනි අවශ්‍යතාවකි.

මෙලෙස පෞරුෂ වර්ධනය කරන්නා වූ ක්‍රියාකාරකම් කළ යුත්තේ ඒ ඒ පුද්ගලයන්ගේ වයස සැලකිල්ලට ගනිමිනි. රේල් පීලි කෑවත් දිරවන වයසේ කොල්ලන්ට හා කෙල්ලන්ට සුදුසු ශාරීරික ක්‍රියාකාරකම් වැඩිමහලු පුද්ගලයන්ට ගැළපෙන්නේ නැත. එසේම තරුණ වයසේ වුවත් යම් ශාරීරික දුර්වලතාවකින් පසුවන්නේ නම් ද එවැනි ක්‍රියාකාරකම් සුදුසු නැත. කළ යුත්තේ  ඒ ඒ තත්ත්වයන් හා අවශ්‍යතා සලකා බලා ඊට ගැළපෙන පරිදි පුහුණුවීම් සැලසුම් කිරීමය. එසේ නැතිව, රටේ වෙදාගේ බේත් තෙල මෙන් කොයි කාටත් එකම ආකාරයේ පුහුණුවක් පවත්වාගෙන යෑම මෙවැනි ඛේදවාචකවලට අත වැනීමකි. මෙම සිදුවීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කොට, පුහුණු වැඩසටහන්වල අන්තර්ගතය යළි සමාලෝචනය කිරීම බලධාරීන්ගේ වගකීමකි.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?