දේශපාලන උණුසුම හා කාලගුණ උණුසුම

දේශපාලන උණුසුම හා කාලගුණ උණුසුම

කොළඹ දේශපාලනය උණුසුම් වී තිබේ.

ඒ උණුසුම නිසා රටේ සෙසු ප්‍රදේශවල සීතල පහව ගොස් තිබේ.  ඊට හේතුව වන්නේ දේශපාලන අර්බුදය විසදා ගැනීමට දරන හෙයියම්මාරුව අස්සේ රටම තිගැස්මකට ලක්ව තිබීමයි. ඒ නිසා පරිසරයේ වෙනස්කම් නොපෙනී ගොස් තිබේ. එසේත් නැත්නම් පරිසරය ගැන  සංවේදී වී නැත.

කොහොමත් වසරේ මුල් මාස තුන ප්‍රදේශ ගණනාවකට වියළි තත්ත්වයක් ඇති කරයි. එහෙත් වසර තුන හතරක් පුරා නියඟයෙන් බැට කන ජනතාවට මේ වියළි තත්ත්වය ද උදා කරන්නේ බරපතළ හානියකි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරන පරිදි පවත්නා වියළි තත්ත්වය නිසා පවුල් 90,381කට අයත් පුද්ගලයෝ 288,193ක් පීඩා විඳිමින් සිටිති. ඒ අතුරින් පවුල් 66,436ක්ම පුත්තලම දිස්ත්‍රික්කයට අයත් වේ. මේ වියළි තත්ත්වය බලපා ඇති දිවයිනේ සෙසු ප්‍රදේශ වන්නේ කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව හා මන්නාරමයි.

රටේ නියං තත්ත්වයක් ඇති වීම දැන් දැන් සාමාන්‍ය කරුණකි. ඊට හේතුව කාලගුණික විපර්යාසය. එය ජාතික වශයෙන් බලපාන්නා වූ හේතුවකට වඩා අන්තර්ජාතික වශයෙන් බලපාන්නා වූ හේතු මත ඇති වන්නකි. එහෙත් මේ නියඟයට මුහුණ දීම සදහා ජාතික වශයෙන් පිළියම් සොයා ගත යුතුය. එය එතරම් දුෂ්කර කරුණක්ද නොවේ. අපේ සමාජය නියඟයට පිළියම් සොයන්නේ නියං ආධාර දීමෙන් හා පානීය ජලය බෙදා දීමෙනි. ඒවා කෙටි කාලීන පිළියම් බව ඇත්තකි. එහෙත් දීර්ඝ කාලීන පිළියම් සදහා මිනිස් චර්යා හා භාවිත මත අලුත් දැක්මක් ඇති කර ගත යුතුය.

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. තවමත් ග්‍රාමීය සමාජය එහි නියැලෙන්නේ පැරණි ජල කළමනාකරණ ක්‍රම මත රදා පැවතෙමිනි. පැරණි ජල කළමනාකරණ ක්‍රම කොතරම් විද්‍යාත්මක වුවත් අප විසින් පරිසරය හා කළ ගනුදෙනුව යහපත් නොවූ නිසාම ජල කළමනාකරණයද අසාර්ථක වී ඇත. පද්ධතියක් සාර්ථක වන්නේ එය සමස්තයක් ලෙස ක්‍රියාත්මක වන විටය. පරිසර පද්ධතිය (Eco system) තුල්‍ය නොවීම නිසා වැව ද ඒ නිසා ජල කළමනාකරණය ද අසාර්ථක වී ඇත.
සිංහල වාරි ශිෂ්ටාචාරය අසාර්ථක වීමට බලපෑවේ එහි තාක්ෂණික කාරණා නොවේ. ඊට අදාළ පරිසර පද්ධතිය අප විසින් ආරක්ෂා නොකළ නිසා තුල්‍යතාව අහිමි වීමෙන් වාරි ක්‍රම බිද වැටුණි. නියඟයකින් නොනවත්වා බැට කන අප කළ යුත්තේ වාරි ක්‍රම ශක්තිමත් කිරීම සදහා පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමයි. වැවද මූලික වූ සිංහල වාරි තාක්ෂණය පරිසර පද්ධතිය සමඟ මුහු වූ විට සමෘද්ධිමත් ජන ජීවිතයක් ඇති කරයි.

පරිසර පද්ධතියේ තුල්‍යතාව රැක ගැනීමට කළ යුත්තේ පරිසරය සමඟ තිරසර ගනුදෙනුවක් පවත්වාගෙන යෑමයි. පවත්නා ලෝක ව්‍යාප්ත සංවර්ධන මොඩලය, පරිසරය සමඟ මානුෂික ගනුදෙනුවකට අකැමැතිය. එහෙත් එහි ඵලවිපාක දන්නා බුද්ධිමත්තු පරිසරය තිරසරව ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරති. තිරසර නොවූ සංවර්ධනය, වෙළෙදපළ වර්ධනයට බාධාවක් නම් තිරසරව කටයුතු කිරීමට ගතිකය විසින්ම තල්ලුවක් ලබා දේ. සමාජයක් ලෙස අප අද සිටින්නේ එතැනය. ආධාර, ආහාර හා පානීය ජලය බෙදමින් නියඟයට මුහුණ දෙන්නට යෑම සාම්ප්‍රාදායිකය. ඒවා ද ලබා දෙමින් කළ යුත්තේ අනාගතය සදහා වූ ස්ථිරසාර  විසදුමක් ඇති කර ගැනීමය. ඒ සදහා බුද්ධිමතුන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍යය. බුද්ධිමතුන් ඒ සඳහා සක්‍රිය දායකත්වයක් සපයන්නේ නම් විසදුමක් සොයා ගැනීම අපහසු කරුණක් නොවේ.. තුන්කල් දක්නා නුවණක් එදාටත් වඩා අද අවශ්‍ය වන්නේ ඒ සඳහාය.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?