මේ මොකද වෙන්නේ?

මේ මොකද වෙන්නේ?

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කර ඊයේට සතියකි. තවමත් සභිකයන් පත් කර ගැනීමට නොහැකිව තිබේ. කාන්තා නියෝජනය අර්බුද රැසක් නිර්මාණය කර ඇත. පළාත් පාලන ආයතන ස්ථාපිත කරන දිනය කල්දමා තිබේ. සියල්ල අර්බුදවලින් ගහනය. සියලු දෙනා එකිනෙකාගෙන් විමසන්නේ "මොකද වෙන්නේ?" කියාය.  

පළාත් පාලන මැතිවරණය ලොකුම අර්බුදය ඇති කළේ මධ්‍යම ආණ්ඩුවේය. සමහරුන් කියන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් විය යුතු බවකි. සමහරු ඔහුව ඉවත් කරන්නටත් කල් යල් බලති. තවත් සමහරුන් කියන්නේ ඔහු තවදුරටත් තනතුරේ සිටිය යුතු බවකි. මේ හා හූ අස්සේ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වී තිබේ.  

ඇති වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් ආණ්ඩුවේ නායකයන් මුණගැසෙමින් පවසා ඇත්තේද දේශපාලන අස්ථාවරත්වය මඟහැර ගත යුතු බවක් යැයි අසන්නට ලැබේ. රටක දේශපාලන අස්ථාවරත්වය බරපතල ප්‍රශ්න ඇති කරන්නේ ජාතික වශයෙන් පමණක් නොවේ. කලාපීය හා අන්තර් ජාතික වශයෙන්ද එය බරපතල ලෙස බලපාන්නකි. ශ්‍රී ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය ඉන්දීය සාගර කලාපයටම තදින් බලපායි.  

අසල්වැසි මාලදිවයින් රාජ්‍යයේද බරපතල දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගී ඇත. එරට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මග හරිමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමින් කර ඇත්තේද බරපතල තත්ත්වයක් නිර්මාණය කර ගැනීමකි. මේ නිසා කලාපීය බලවතුන් වන ඉන්දියාවත් මහජන චීනයත් නොසන්සුන් වී තිබේ. ඇමෙරිකන් එක්සත් ජනපදයත් එක්සත් රාජධානියත් තම උකුසු ඇස ඉන්දියානු සාගර කලාපයට යොමු කර ඇත. ඒ අවුඅස්සේ පළාත් පාලන මැතිවරණයක් නිසා ශ්‍රී ලංකාවේ ඇති වී ඇත්තේ දේශපාලන නොසන්සුන්තාවකි.  

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මධ්‍යම ආණ්ඩුවේ බලතුලනයට අදාළ නොවේ. එහෙත් එමගින් එල්ල කරන දේශපාලන අභියෝගය නොතකා හැරිය නොහැකිය. පාර්ලිමේන්තුවේ බලතුලනයට යමක් සිදු නොවුණත් සතියක් තිස්සේ උඩ බිම බලමින් ඉන්නේ එල්ල කළ දේශපාලන අභියෝගය නිසාය.  

දේශපාලන අභියෝගය ආණ්ඩුවේ අභ්‍යන්තරය විසින් විසඳාගත යුත්තකි. ඊට ආණ්ඩුවෙන් පිට බාහිර බලවේගයන්ට මැදිහත් විය නොහැක. හේතුව 2015 ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් ව්‍යවස්ථාදායකයට හා විධායකයට ලැබුණු ජන වරම අහෝසි වී නොමැති වීමය. එනිසා පාර්ලිමේන්තුවේ සංයුතියට හෝ අමාත්‍ය මණ්ඩලයේ පැවැත්මට හෝ බලපෑමක් ඇති වී නොමැත.  

එහෙත් ආණ්ඩුවෙන් පරිබාහිර දේශපාලන කණ්ඩායම් ආණ්ඩු හදන්නට කතාබහ කරමින් සිටිති. එහෙත් මෙය උත්ප්‍රාසයක් පමණක් නොව හාස්‍යයක්ද ජනනය කරයි. තමන්ට ආණ්ඩුවේ පැවැත්ම අභියෝග කළ හැකි නම් විපක්ෂ කණ්ඩායම් කළ යුත්තේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනවිත් එය ජයග්‍රහණය කිරීමය. එසේ නොවන්නට කොළඹ කුරුඳුවත්තේත්, මැදමුලනේත් කරන්නා වූ සාකච්ඡා හුදු බලය සඳහා කරන කුමන්ත්‍රණ පමණි. ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් නැති මේ කුමන්ත්‍රණ මුළු වැර යොදා පරාජය කළ යුතුය.   

සැබැවින්ම ආණ්ඩුවට දේශපාලන අභියෝගයක් එල්ල වී පවතී. ඒ සඳහා විසදුම් සොයා ගත යුත්තේ ආණ්ඩුවමය. සුපැහැදිලිවම එය ආණ්ඩුවේ අභ්‍යන්තර කාරණාවකි. එනිසා බාහිර බලවේගයන්ට මොනර නැටුම් නටන්නට ඉඩ දෙමින් රට අස්ථාවරවීමට ඉඩ හළ යුතු නැත.  

සාමාන්‍යයෙන් රටක වෘත්තීයවේදීන් මැදිහත්විය යුත්තේ මෙවැනි අර්බුදයන් ජය ගැනීමටය. එහෙත් අපේ රටේ වෘත්තීයවේදී සංවිධාන සංවේදී වන්නේ බඩගෝස්තරවාදී අරගල වෙනුවෙන් පමණි. සියලු වෘත්තීයවේදී සංවිධාන එකමිටට එක ලෙස නිද්‍රාවට පත්ව ඇත. ඒ තත්ත්වය තුළ සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මැදිහත්වීම නමස්කාර පූර්වකව අගය කළ යුතුය. 

මාතෘකා